ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ලබන බදාදා

අගෝ 12, 2019

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

    තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුව තිබේ. දෙපිළේ ක්‍රීඩකයින් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම්වල නිරතවූහ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග සංඛ්‍යාව 34ක්. ඉන් තරග 15ක් නවසීලන්තය ජයගත් අතර, තරග 8ක් ශ්‍රී ලංකාව ජයගත්තේය. තරග 11ක් ජය-පරාජයෙන් තොර විය. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලි හතකට මුහුණ දී තිබේ. ඉන් 3ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාව අවසන් වරට මෙරටදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළේ, 2009 වසරේදී. ගාල්ල ක්‍රීඩාංගණයේදී දෙරට අතර ටෙස් තරග 3ක් පවත්වා තිබේ. එම තරග 3ම ශ්‍රී ලංකාව ජය ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුළ ටෙස්ට් තරග 4ක් ක්‍රීඩාකර තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් තරග දෙකේම ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

    Latest News