මට මේක තියාගෙන වැඩක් නෑ..ඉල්ලන තැනකට මම මේක දෙනවා... (වීඩියෝ)

ජූලි 27, 2019

    වසර 15ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර පිටිය වර්ණවත් කළ වේගපන්දු යවන ලසිත් මාලිංග ඊයේ එක් දින ක්‍රිකට් පිටියට සමුදුන්නා.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් පසුවයි.

    ඊයේ එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට මාලිංග තරග 226ක දී ලබා ගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 338ක්. එය එක් දින ක්‍රිකට් පිටියේ දී ක්‍රීඩකයෙකු දවා ගත් නව වැනි කඩුලු සංඛ්‍යාව ද වෙයි. මේ අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින පිටියේ වැඩිම කඩුලු දවා ගත් තුන්වැනි ක්‍රීඩකයායි. වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ මාලිංග අවස්ථා තුනක දී කඩුලු ත්‍රිත්ව දවා ගත් අතර, එවන් දස්කමක් දැක්වූ ලොව එකම පන්දු යවන්නා ඔහුයි. මේ අතර, 2007 වසරේ ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගැනීමට ද ලසිත් මාලිංග සමත්විය. එම වාර්තාව ද මෙතෙක් කිසිඳු ක්‍රීඩකයෙකු බිඳහෙලා නොමැත. අසාමාන්‍ය පන්දු යැවීමකින් ලොව සියලු ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගත් ලසිත් මාලිංගට ඊයේ තරගයෙන් අනතුරුව උපහාර පිරිනැමිණ.

    එක්දින පිටියේ අවසන් තරගයේ කඩුලු 3ක් දවා ගත්තා..මොකක්ද දැනුන හැඟීම?

    ඇත්තටම සතුටුයි විකට් ගත්තටත් වැඩිය මට සතුට දැනෙන්නේ මගේ අන්තිම තරගය බලන්න ආපු ප්‍රේක්ෂකයින් දැක්කහම..ආපු හැමෝටම ස්තූති කරනවා...අපි තරගයක දී හැම විටම උත්සහ කරන්නේ පළමු පන්දුවාර 10 තුළ කඩුල්ලක් දෙකක් දවා ගන්න...ඒක සමහරක් අවස්ථාවල දී හරිගියා..කඩුලු 3ක් අරගෙන මගෙ අවසන් තරගය ජයග්‍රාහීය අවසන් කරන්න හැකිවීම ගොඩක් සතුටුයි..ඒක නිසා මම හිතනවා ඉතා සතුටින් එක්දින පිටියෙන් සමුගන්න පුලුවන් උනා කියලා..

    මෙම තරගයේ එක් අවස්ථාවක දී ඔබ ලහිරු කුමාරට යම් කිසි පණිවුඩයක් දෙනවා අපි දුටුවා..මොකද්ද ඒ අවස්ථාවේ සිදුවුණේ?

    ළහිරු කුමාර තරුණ ක්‍රීඩකයෙක්..සමහරක් වෙලාවට එයාට හැකියාව තිබුණත් අවස්ථාව හසුරවාගන්න බැරිවෙනවා..නමුත්,අපිට තිබෙන අත්දැකීම් අනූව තේරෙනවා මොනවගේ පන්දු ප්‍රහාරයකට සූදානම් වනවාද කියලා..ඒක නිසයි මම ස්ථාන මාරුකරලා එයාට උපදෙස් දුන්නේ පන්දු යනව විඳිහ ගැන..මම කියලා දුන්න උපාය සාර්ථක වුණා..එයා කඩුල්ලක් දවා ගත්තා..ඒක නිසා එයා මගේ දිහා බලලා ඒ ගැන හැගීම් ප්‍රකාශ කළා..මම දීර්ඝ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා..ඒ අනූව, යම් අත්දැකීමක් ලබලා තියනවා අවස්ථානුකුලව පන්දු යවන්න..ඒක නිසා මම සතුටු වෙනවා..රට වෙනුවෙන් යමක් කිරීමට හැකිවීම ගැන..මම දැන් සෑහෙන වයස ක්‍රීඩකයෙක්..මගේ පන්දුවේ දැන් වේගය නැහැ..මට දැන් කඩුල්ලක් දෙකක් දවා ගන්න තියෙන්නේ එක ක්‍රමයයි..මම දැන් ඒ ක්‍රමයේ තමයි සාර්ථක වෙන්න උත්සහ කරන්නේ..මගේ වේගය අඩුවීම නිසා පෙර වගේ වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගන්නට අවස්ථාව අඩුයි..නමුත්,මට තිබෙන දේ මම භාවිත කළා..

    ලසිත් ඔබ එක්දින දිවියෙන් සමුගත්තා මොකද්ද අනාගත බලාපොරොත්තුව?

    මගේ බලාපොරොත්තුව තමයි, අපි ක්‍රිකට් ක්‍රීඩාකළ කාලය තුල යම් කිසි අතපසුවීමක් වෙලා තියෙනවා..හැකියාව මොකක්ද කියන එක ගැන..ඕනෑම කෙනෙකුට හැකියාවක් තියනවා..නමුත්, ඒ හැකියාව අඛන්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන ඒගොල්ලන් දන්නේ නැහැ..හැකියාව තිබෙන කෙනා ඒක නැවත නැවත පවත්වාගෙන යන්නේ නැත්නම්, ඒක දක්ෂතාවය දක්වා ගෙන යන්න බැරිවෙනවා..හැකියාව අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්නම් ඒක තමයි දක්ෂතාවය..ඒක තියනවා නම් පුහුණුව තුලින් විශ්ලේෂණය තුලින් අවස්ථාවන් හඳුනාගන්න පුළුවන්..එහෙමත් නැත්නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් උනත් මේවා හඳුනාගත්තොත් ක්‍රියාත්මක කරන්න පුළුවන්..ඒ මොනවා කරන්නත් ස්කිල් එකක් තියෙන්න ඕන..ඉතින් මම දැකපු දේ තමයි, අන්තිම අවුරුදු 6 - 7 තුල මේ දේ ලැබිලා නැහැ කියන එක..ඒක ජාතික කණ්ඩායමේ දී කරන්න බැහැ..නමුත් වයස අවුරුදු 17 - 18 දී ක්‍රීඩකයන් හඳුනාගත්තොත්, අපි පටන්ගන්න ඕන හැකියාවන් ගොඩනගන ඒකකයක්..ජාත්‍යන්තර තරගවලට ගිහාම ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්නේ අවස්ථාව තුළ ගොඩනැගෙන පීඩනය හසුරවාගන්න බැරිවීම තුළින්..මේවා තමයි ගැටළු..

    හැකියාවෙන් හා දක්ෂතාවයේ ඉහළින් ඉන්නවා නම් පීඩනයක් ඇති වෙන්නේ නැහැ..ඉදිරියට මගේ බලාපොරොත්තුව මේ අවුරුදු 15ක් තුළ ජාත්‍යන්තර තරග IPL වගේ තරගවලට සහභාගී වෙලා ලබාගත් දැනුම අත්දැකීම් පුහුණුකරුවෙකුට වඩා ක්‍රීඩාක සීමාව තුළ මොනවද වෙන්නේ, මොනවද කළ යුත්තේ, පිතිකරුවෙක්ව දවා ගන්නේ කොහොමද කියන එක, හැකියාව කොහොමද දියුණු කරන්නේ වගේ දේවල් කියල දෙන්න පුළුවන් කියලා මට පොඩි අවබෝධයක් තියෙනවා..ඒ වගේම හිතට ශක්තියක් තියනවා..ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒකද අඩුපාඩුව නම් ඒක බලාපොරොත්තුවන තැනකම මගේ සහය ලබාදෙනවා..ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන්න පුළුවන්..මට ඒක සහතික කරන්න බෑ ලංකාවටම කියලා..වෙන රටක වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන තැනට මම ඒක දෙනවා..මට මේක තියාගෙන වැඩක් නැහැ..මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මගෙන් ඉල්ලන ඕන කෙනෙකුට මම ඒක දෙනවා..

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 19:03

    Latest News