එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්න මාලිංග

ජූලි 25, 2019

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තෙදින තරගාවලියේ ප්‍රථම එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    තරගය සජීව ලෙස ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් විකාශය කිරීමට නියමිතයි. හෙට තරගයෙන් පසුව සිය ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාතික රූපවාහිනියට අදහස් පළ කළා.

    අවසන් තරගය පිළිබඳ අදහස් දැක්වූ ලසිත් මාලිංග....


    “ගොඩක් සතුටුයි මට ක්‍රිකට් ආයතනයට ගිහිල්ලා මට සමුගන්න තරගයක් ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්නේ නැතුව, මගේ හැකියාවෙන්, මගේ දක්‍ෂතාවයෙන් කණ්ඩායමට ක්‍රීඩා කරන ගමන් මම තීරණය කරලා අවසන් තරගයක්, මේ තරගයෙන් මට ක්‍රීඩා කරා ඇති කියලා යන්න ලැබීම මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලබන වාසනාවන්තම දෙයක්. ඉතිං මමත් ඒ වාසනාවට හිමිකම් කිව්වා කියලා කියන්න පුලුවන්.

    ලොකු බලාපොරොත්තු නැහැ මම ඊළඟට 20-20 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකත් මම දන්නේ නැහැ. අද වෙන දේ නෙමෙයි හෙට වෙන්නේ. යම් කිසි වේලාවක පන්දු යැවීමේදී මගෙන් ලබාගන්න උපදෙස් මොනව හරි තියෙනවා නම් ඒක මගෙන් ලබාගන්න බලාපොරොත්තු වුණොත් ඒක ලබාදෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව කවුරු මොන විධියට කිව්වත් දක්‍ෂතාවය මත රැදෙන ක්‍රීඩාවක්. ඒක නිසයි මම අද මෙතන ඉන්නේ.

    මම හැමදේම ලබාගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඒ නිසා ක්‍රිකට්වලට මම හැමදේම කරනවා. මම දන්නේ නැහැ ලංකාවට ද වෙන රටකට ද කියන එක. කවුද බලාපොරොත්තු වෙන්නේ, ඒ බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නම් මම ඒ දේ කරනවා. මොකද මේක මම දන්න දේ. දැකපු දේ. ඒක රට බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වෙන රටකට හරි මම ඒක කරන එක මගේ යුතුකමක්. ඒ නිසා බලාපොරොත්තු වෙන තැනට මම උදව් කරනවා.“ යැයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාංලිග පැවසීය.

    Latest News