නුවන්ට හා අවිශ්කට ICCයෙන් දූෂණ චෝදනා

මැයි 10, 2019

    ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට හා අවිශ්ක ගුණවර්ධනට දූෂණ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කිරීමට අද(10) තීරණය කර ඇත.

    ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව මෙම චෝදනා ගොනු කිරීමට තීරණය කර තිබේ.

    2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය තුළ දී මෙම නීති කඩ වීම් සිදු වූයේ යැයි සඳහන්වේ. එම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙසේ චෝදනා ගොනු කරනු ඇත.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 4 නුවන් සොයිසා විසින් උල්ලංඝනය කර ඇති අතර ගුණවර්ධන එම පනතේ වගන්ති 2ක් කඩ කර ඇති බවට චෝදනා ගොනු වනු ඇත.

    නුවන් සොයිසාට එරෙහිව ගොනු කර ඇති චෝදනා 4 ....

    2012 පනතේ 2.1.1 – දේශීය ක්‍රිකට් තරගයක් අතරතුර තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම.

    2012 පනතේ 2.1.4 – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.

    2014 පනතේ 2.4.4 – නොමනා හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.

    2014 පනතේ 2.4.6 – දූෂණ විරෝධී ඒකකය සමඟ පැවැත්වුණු පරීක්ෂණවල දී සහයෝගයෙන් කටයුතු නොකිරීම හෝ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු නොදීම.

    එසේම අද දිනයේ චෝදනා ලැබ තිබෙන නුවන් සොයිසා මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ද මෙවැනිම ආකාරයක චෝදනා කිහිපයක් ද ඔහුගේ නම ඉදිරියෙන් ගොනු වී ඇත.

    අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා 2...

    2012 පනතේ 2.1.4 – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.

    2014 පනතේ 2.4.5 – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, ඒ සඳහා සහභාගී නොවීම.

    නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන යන මහත්වරුන් අද (10) සිට දින 14ක් ඇතුළත ඔවුන්ට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත.

    එසේම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ යම් නිලයක් දරයි නම් එම තනතුරුවලින් ද වහාම ක්‍රියාත්මක පරිදි ඔවුන්ව ඉවත් කරන ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 13:12

    Latest News