ස්පාඤ්ඤය EURO 2024 අවසන් තරගයට

ජූලි 10, 2024

    2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඊයේ රාත්‍රියේ ජර්මනියේ මියුනිච් හි අලියාන්ස් අරීනා හිදී අවසන් වූයේ ගෝල 2-1 ක් ලෙස ප්‍රංශය පරදා ස්පාඤ්ඤයට ජය හිමි කර දෙමින්.

    තරගය ආරම්භ කර 8 වන මිනිත්තුවේදී ප්‍රංශ ක්‍රීඩක කෝලෝ විසින් හිසෙන් එල්ල කළ පහරකින් ප්‍රථම ගෝලය වාර්තා කළා. අනතුරුව ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ තරගය අවසානය වන තෙක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් තරගයේ 20, 25 මිනිත්තු වලදී ගෝල දිනුම් වාර්තා කළා.

    නමුත් ම්බාප්පේ ප්‍රමුඛ ප්‍රංශ ක්‍රීඩකයින්ට දෙවන අර්ධයේ හෝ නැවත කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤ ඉදිරි පෙළ හා පසු පෙළින් ඉඩ ලැබුණේ නැහැ.

    16 හැවිරිදි ලැමයින් යමාල් සහ ඩැනී ඔල්මෝ ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල රැස් කළා. යමාල් ප්‍රමුඛ පෙළේ පාපන්දු තරගාවලියක අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කරන ලාබාලතම ක්‍රීඩකයා වනවා.

    ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේ 17 වන වියේදී 1958 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කළා.

    දෙවන අවසන් පූර්ව තරගය නෙදර්ලන්තය සහ එංගලන්තය අතර අද රාත්‍රි 9.00 ට (මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට) පැවැත්වීමට නියමිතයි. ඒ ජර්මනියේ ඩෝර්ට්මුන්ඩ් හි SIGNAL IDUNA PARK ක්‍රීඩාංගණයේදීයි.

    Last modified on බදාදා, 10 ජූලි 2024 12:14

    Latest News