රොනාල්ඩෝට ළඟදීම තවත් බූට් එකක් ?

මැයි 22, 2024

    යුරෝ 2024 සඳහා පෘතුගාල සංචිතයට නම් කර ඇති 39 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ 11 වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

    ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා වන ඔහු පෘතුගාලය වෙනුවෙන් තරඟ 206ක් සහ ගෝල 128ක් රැස් කර තිබෙනවා. එමෙන්ම පෘතුගාලය වෙනුවෙන් යූරෝ තරගාවලි 6 ක් නියෝජනය කළ පළමු ක්‍රීඩකයා ලෙසද රොනාල්ඩෝ වාර්තා ගත වනවා.

    පෘතුගාලය යූරෝ ඉතිහාසයේ එක්වරක් ශූරයන් (2016) බවටත් එක්වරක් අනුශූරයන් (2004) බවටත් පත්ව තිබෙනවා.

    පෘතුගාලය ප්‍රථම වරට ශූරයන් බවට පත්වූ 2016 වසරේ යූරෝ තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමටද රොනාල්ඩෝ ක්‍රීඩා කළා. එමෙන්ම ඔවුන් අනූශූරයන් වූ 2004 වසරේ තරගාවලිය රොනාල්ඩෝගේ මංගල යූරෝ සහභාගීත්වයයි.

    ගෝල 5ක් සහ එක් සහයක් ලබා ගනිමින් යුරෝ 2020 රන් සපත්තුව (Golden boot) දිනා ගත්තේද රොනාල්ඩෝ විසිනුයි.

    යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය මෙවර ජර්මනියේදී පැවැත්වීමට නියමිත වන අතර වසර හතරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙවර රටවල් 24 ක පාපන්දු කණ්ඩායම් සහභාගී වනවා.

    1960 වසරේ ප්‍රංශයේදී ආරම්භ වී වසර 4කට වරක් පැවැත්වෙන මෙම තරගාවලි මාලාවේ මෙවර පැවැත්වෙන්නේ 17 වන දිගහැරුමයි.

    ජර්මනියේ යෝධ පාපන්දු ක්‍රීඩාංගණ 10 කදී ජූනි 14 වනදා සිට ජූලි 14 වනදා දක්වා පුරා මාසයක කාලයක් තරගාවලිය ක්‍රියාත්මක වනවා.

    Latest News