මතීෂගේ වේගය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

පෙබ 18, 2024

    ‍ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය, ලකුණු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු 20-20 තරගය මෙයයි.

    වසර 6 කට පසුව රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට විශාල ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණ සිටියා. තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

    ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක. පැතුම් ලකුණු 6 කටත්, කුසල් ලකුණු 10 කටත් දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 24 යි. සධීර සමරවික්‍රම ලකුණු 25 කට දැවී ගියා.

    වැඩිම ලකුණු ලාභියා වෙමින්, නායක වනිඳු හසරංග පන්දු 32 කදී ලකුණු 67 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්. වනිඳු වාර්තා කළේ තම දෙවැනි 20-20 අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 160 ක් රැස්කළා. පන්දු යැවීමේදී ෆසාල් හක් ෆරුකි, කඩුලු 3 ක් බිඳහෙලුවා.

    තරගය ජයගැනීමට ලකුණු 161 ක ඉලක්කයක් සමග ඇෆ්ගනිස්තානය ඉනිම ආරම්භ කළේ ඊබ්‍රහිම් සාඩ්‍රන් සහ රහමනුල්ලා ගුර්බාස්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 25 ක් වනවිට, ගුර්බාස් ලකුණු 13 කට දැවී ගියා.

    ගුල්බඩීන් නයිබ් ලකුණු 16 ක් රැස්කළ අතර කරීම් ජානට් ලකුණු 20 යි. ඊබ්‍රහිම් සාඩ්‍රන් එක් අන්තයකින් තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් ඇෆ්ගනිස්තානය තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

    ඒ අනුව ඇෆ්ගනිස්තානයට පන්දු වාර 20 ක් තුළ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 156 ක් පමණයි. නායක ඊබ්‍රහිම් සාඩ්‍රන් නොදැවී ලකුණු 67 යි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24 ට කඩුලු 4 ක් දවාගත්තා. දසුන් ශානක කඩුලු 2 යි. තරගයේ වීරයා, මතීෂ පතිරණ

    Latest News