වසර 92කට පසු දකුණු අප්‍රිකාව පැරදවූ කිවියන්

පෙබ 16, 2024

    දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට නවසීලන්තය අද සමත් වුණා.

    දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට මේ වන විට වසර 92 ක්. දකුණු අප්‍රිකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ, හැමිල්ටන් හිදී. එහිදී, දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 242 ක් රැස් කළ අතර, නවසීලන්ත පිල පළමු ඉනිම සඳහා ලකුණු 211 යි. දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් සිය දෙවැනි ඉනිමේදි ලකුණු 235 ක් ලබා ගත්තා. ඒ අනුව, තරගය ජය ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ‍ලකුණු 267 ක ඉලක්කයක් හිමි වුණා. ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස් කරමින් එම සීමාවට ළඟ වුණා. 

    නවසීලන්ත කණ්ඩායම තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමි කර ගත්තා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 133 යි. ඒ අනුව, නවසීලන්ත ක්‍රීඩකයින් ටෙස්ට් තරගාවලිය ජය ගත්තේ, තරග 2 ට 0 ක් ලෙසයි. මේ දක්වා වසර 92 ක කාලය තුළ දෙරට අතර ටෙස්ට් තරගාවලි 18 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 13 ක ජය හිමි කර ගත්තේ, දකුණු අප්‍රිකාවයි. තරගාවලි 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබුණා.

    Latest News