කැංගරු විවේකාගාරය අමු සොහොනක් කළ කොදෙව් දරකපන්නා

පෙබ 08, 2024

    සංචාරක බ.ඉ කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය බ්‍රිස්බෙන් හිදී පසුගියදා නිමා වූයේ වසර 27 ක‍ට පසු ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදීම පරාජය කරමින් කොදෙව්වන්ට පෙරලිකාර ජයක් හිමි කර දෙමිනි.


    පළමු තරගය කඩුලු 10 කින් ජයගෙන දිවා රාත්‍රී තරගයක් වූ දෙවැනි තරගයේද දෙවැනි ඉනිමේ ලකුණු 216 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කැංගරුවෝ කොදෙව්වන්ව තඹ ‍සතේකට මායිම් නොකර පිතිකරණයේ යෙදුනේ ඔවුන්ව හෙම්බත් කර තවත් තරගාවලියක ජයක් ලැබීමේ අපේක්ෂාවෙනි.

    රාත්‍රී ආහාරයට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව 92/2 යි. කඩුලු 8ක් අතැතිව ජයග්‍රහණය කරන්නට තවත් දින දෙකක්ම ඉතිරිව අවශ්‍ය වූයේ ලකුණු 124 ක් පමණයි. ‍නායක ක්‍රෙග් බ්‍රැත්වේට් වේග පන්දු යවන ෂමාර් ජෝසෙෆ් අත පන්දුව තැබුවා. පළමු තරගයෙන් ටෙස්ට් වරම් ලබා යැවූ පළමු පන්දුවෙන් ස්ටීවන් ස්මිත් දවා ගත් 24 හැවිරිදි මේ කෝඩු කාරයා ඉතිරි කඩුලු 8න් 7ක්ම දවා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 68ක් පමණක් ලබා දෙමින්.

    ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ගේ නළල් රැලි ගන්වමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩක විවේකාගාරය අමු සොහොනක් බවට පත් කළ ෂමාර් තරගාවලියේ කඩුලු 13ක් බිඳ හෙලමින් සහ පිත්තෙන් ලකුණු 57ක් ලබා ගනිමින් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම තමා සතු කර ගත්තා.

    ලෝ පූජිත බ්‍රයන් ලාරා, ඉයන් බිෂොප් මෙන්ම මයිකල් හෝල්ඩින් ද විස්තර විචාරක අට්ටාලයේ සිට සතුටු කඳුළු වගුරුවමින් ෂමාර්ගේ වීර ක්‍රිකයාවට සාක්ෂි සැපයූවා.

    එක් රැයකින් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වුවද ඔහුගේ ජීවිත කතාව අන්ත දුක්ඛිත එකක්. කොදෙව් දේශයේ හුදෙකලා අන්ත දුප්පත් දූපතක් වන බරකාරා හි දර කපන්නකු ලෙසත් පැය 12ක සේවා මුරයක් හිමි ආරක්ෂකයකු ලෙසත්, කම්කරුවකු ලෙසත් සේවය කළ ෂමාර් මෙම දස්කම දැක්වීමට වසරකට පෙර පළමු පෙළ තරගයකටවත් ක්‍රීඩා කර තිබුණේ නැහැ.

    තරගයෙන් පසුව අදහස් දැක්වූ ෂමාර් ලොව පුරා T20 තරග සංවිධානය කරන ෆ්‍රැන්චයිස් කරුවන්ගෙන් ඉල්ලීම් ගලා එන බවත් මුදලට යට නොවී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බවත් පැවසුවා.

    ජයග්‍රහණයට පෙර දින පන්දුවට පහර දෙමින් සිටියදී ස්ටාක් එවූ යෝකර් පන්දුවකට වම් පාදයේ මාපටැඟිල්ල තලා ගනිමින් සගයන්ගේ කරමතින් පිටියෙන් ඉවත්ව හෝටල් කාමරයට වී සිටි තමා පිටියට පැමිණිමේ බලාපොරොත්තුවෙන් නොසිටි බවත් තුවාලය සුව කර දිරි ගන්වා පිටියට එවූ කණ්ඩායමේ වෛද්‍යවරයාට සිය කෘතඥතාවය පළ කර සිටින බවත් පැවසුවා.

    කොදෙව් නායක බැත්වේට් පැවසුවේ ඇඟිල්ල යකාට ගියාවේ තරගයේ අවසානය දක්වාම පන්දු යවන බව ෂමාර් තමාට ඉතා විශ්වාසයෙන් හා දිරිමත්ව දැනුම් දුන් බවයි.

    මයිකල් හෝල්ඩින් වැනි මාරාන්තික පන්දු යවන්නන් බිහි කරමින් එවක ක්‍රිකට් වංශකතාවේ නොම්මර එකේ කණ්ඩායම වූ කොදෙව්වන්ගේ ප්‍රධානම තුරුම්පුව වූයේද වේග පන්දුවයි.

    දරිද්‍රතාවයේ අනන්තයට වැටුනු තරුණයකු අති දුෂ්කර ප්‍රදේශයකින් ජාත්‍යන්තර පිටියට පැමිණ ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායමක් ඔවුන්ගේ රටේදීම දණ ගැස්වීම තවත් මෙවැනි ක්‍රීඩකයන් දහස් ගණනකට සාර්ථකව ගොඩනැගීමට උත්තේජනයක් සපයනු ඇත.

     

    Latest News