ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

නොවැ 04, 2023

    ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

    ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර අද ඩුබායි හිදී පැවති හමුවකදී මේ බව සඳහන් කර තිබෙනවා. ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී තහවුරු කළේ, ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර පැරීසියේ පැවති රැස්වීමකදී ඉවත් කිරීමට කටයුතු කළ බවයි. මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා. ශක්තිමත් පාලන ව්‍යුහයක් සකස් කිරීමට සහ ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයේ නිලධාරීන්ට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ස්තූතිය පළ කළා.

    Latest News