සිව් වසරකට පසු ගැටෙන ඉන්දියාව සහ පකිස්තානය

සැප් 02, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය අද පැවැත්වෙනවා.

    දෙරට අතර එක්දින තරගයක් පැවැත්වෙන්නේ, 2019 වසරෙන් පසුවයි. තරගය, මහනුවර පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පස්වරු 3.00 ට ආරම්භ වනවා. තරගයට සූදානම් වන දෙපිළේ ක්‍රීඩකයින් ඊයේ එම ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් සිදු කළා. 2017 වසරේ සිට මේ දක්වා ඉන්දියාව සහ පකිස්තානය අතර පවත්වා ඇත්තේ, එක්දින තරග 5 ක් පමණයි. ඉන් තරග 4 ක් ඉන්දියාව ජය ගත් අතර, පකිස්තානය ජය ගෙන තිබෙන්නේ, එක් තරගයක් පමණයි.

    අවසන් වරට 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගයේ ජය ඉන්දියාව සතු වුණා. මීට පෙර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය සඳහා භාවිතා කළ තණතීරුව අද තරගයට භාවිත කෙරෙන්නේ නැහැ. අද තරගය සඳහා නවතම තණතීරුවක් සකස් කර ඇති බවයි, වාර්තා වන්නේ. පකිස්තානය සහ ඉන්දියාව අතර එක්දින තරග ඉතිහාසය ‍සැලකීමේදී මෙතෙක් පවත්වා ඇති තරග සංඛ්‍යාව 132 ක්. ඉන් තරග 73 ක් පකිස්තානයත්, තරග 55 ක් ඉන්දියාවත් ජය ගත්තා.

    තරග 4 ක් අවසන් වුණේ, තීරණයකින් තොරවයි. මේ වන විට පකිස්තාන කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ලොව පළමු ස්ථානයේ පසු වන අතර, ඉන්දීය කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ තුන්වැනි ස්ථානය හිමිව තිබෙනවා. ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථාවක් කිරුළ හිමි කර ගෙන තිබෙන්නේ ඉන්දියාවයි. ඔවුන් ශූරතා 7 ක් සහ අනුශූරතා 3 ක් හිමි කර ගෙන තිබෙනවා. පකිස්තානය අවස්ථා දෙකකදී ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ගත්තා.

    ඔවුන්, අවස්ථා තුනකදී අනුශූරයින් බවට පත්ව තිබෙනවා. පසුගිය වසරේ 20-20 ආකෘතියට පැවති ආසියානු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව ද පකිස්තානය හිමි කර ගත්තා. මෙවර තරගාවලියේදී ඉන්දියාව සහභාගී වන පළමු තරගයයි අද පැවැත්වෙන්නේ. පකිස්තානය, සිය පළමු තරගයේදී නේපාලය පරාජය කරමින් ලකුණු 238 ක ජයක් වාර්තා කළා.

    අද තරගයේදී ඉන්දියාව රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සහ පකිස්තානය බාබර් අසාම්ගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි.

    Latest News