ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් තරගය ලකුණු 11කින් ජයගනී...

සැප් 18, 2022

    “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස්” තරගාවලියේ අද (18) පැවති පළමු තරගයෙන් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

    ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ , ඉන්ඩෝර් හිදී. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුන්නා.  

    ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, නායක ටී.එම්. ඩිල්ෂාන් සහ ඩිල්ෂාන් මුණවීර. ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 02ක් වන විට ටී.එම්. ඩිල්ෂාන් එක් ලකුණකට දැවී ගියා. දිල්ෂාන් මුණවීර ලකුණු 26යි. උපුල් තරංග පන්දු 27කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 36ක්. චාමර සිල්වා ලකුණු 18කට සහ අසේල ගුණරත්න ලකුණු 25කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජීවන් මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 43ක්‍. 4 පහර 05ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුලත්. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබාගත්තා.  

    පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ ‍කළේ, ඇන්ඩෲ පුටික් සහ මෝන් වෑන්ග් වේග්. පුටික් ලකුණු 8ක් රැස් කළා. ඇල්වීරෝ පෙටර්සන් ලකුණු 22කට දැවි ගිය අතර ජාකස් ටුටඩොල්ෆ් ලකුණු 10යි. දකුණු අප්‍රිකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ, මෝන් වෑන්ක් වේක්. ඔහු පන්දු 56කදී ලකුණු 76ක් රැස්කළේ, 4 පහර 4ක් සහ 6පහර 6ක් සමගින්. දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154ක්.

    ඒ අනුව,  ශ්‍රී ලංකාවට ලකුණු 11ක ජයක් හිමිවුණා. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග තුනම ජයගැනීමට සමත්ව සිටිනවා.   

    Latest News