යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටයට...

අගෝ 02, 2022

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රී‍ඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට, කෙටි දුර ධාවන ශූර, යුපුන් අබේකෝන් අද සමත් වුණා.

    ඒ, තමන් සහභාගි වූ මූලික වටයේ තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගනිමින්.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙනවා. මීටර 100 ධාවන ඉසව්වේ මූලක වටයේ තරග 10 ක් පැවති අතර, යුපුන් සහභාගි වුණේ, 06 වැනි මූලික තරගයට. එහිදී ඔහු තත්පර 10.06ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.

    එම මූලික තරගයේ දෙවැනි ස්ථානය ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ ක්‍රීඩක නියෝන් බෙන්ජමින් දිනාගත්තේ තත්පර 10.34කින්. නයිජීරියාවේ ගොඩ්සන් ඔකේ, තත්පර 10.36 කින් තරගය අවසන් කරමින් තෙවන ස්ථානය දිනාගත්තා. මීටර් 100 ධාවන ඉසව්වේ මූලික වටයේ සියලු තරග අවසානයේ හොඳම කාලය යුපුන් වාර්තා කර තිබුණා. ඒ අනුව, ඔහු හෙට තුන්වැනි අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතයි.

    එහිදී යුපුන් ධාවනයේ යෙදෙන්නේ 7 වැනි මංතීරුවේ.  මීටර 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලකා මෙන්ම දකුණු ආසියාතික වාර්තාවේ හිමිකරුවා වන්නේ ද යුපුන් අබේකෝන්. ඔහු, පසුගිය ජූලි මස 3 වැනිදා තත්පර 9.96 කින් මීටර 100 ධාවන ඉසව්ව නිම කරමින් තමා විසින්ම පිහිටුවා තිබූ වාර්තාව යළි අලුත් කරනු ලැබුවා. මෙතෙක් ඉතිහාසයේ දකුණු ආසියාතික ක්‍රීඩකයෙකු තත්පර 10 කට අඩු කාලයකින් මීටර 100 ධාවන ඉසව්ව නිම කළ පළමු අවස්ථාව ද එයයි.  

    මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න අද සමත් වුණා. මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරගයට ගයන්තිකා අබේරත්න සහභාගී වුණා. එහිදී ඇය පස්වැන්නා ලෙස තරගය අවසන් කළේ, මිනිත්තු දෙකයි, තත්පර 1.20ක කාලයක් වාර්තා කරමින්. එය, නව ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර, ඇය බිඳ හෙලුවේ තමා විසින්ම මීට පෙර පිහිටුවා තිබූ  ශ්‍රී ලංකා වාර්තාවයි. මිනිත්තු දෙකයි, තත්පර 1.44ක කාලයකින් ඇය එම වාර්තාව පිහිටුවා තිබුණා.

    Latest News