දිමුත්ගෙන් ශතකයක්

නොවැ 21, 2021

    තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද සමත් වුණා.

    ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 61 ක් ලෙස සටහන් වෙද්දී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් කොදෙව් ක්‍රීඩක ජෙරම් සොලොසානේ ආබාධයකට ලක්වූ අතර ඔහු රෝහල්ගත කෙරුණා.

    කොදෙව් කණ්ඩායම් කළමණාකරු ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ තත්වය බරපතල නොවන නමුත්, තවමත් රෝහල්ගතව සිටින බවයි. ජෙරම් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සහභාගීවන පළමු ටෙස්ට් තරඟයද මෙයයි. පැතුම් නිස්සංක අද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළා.

    ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 139 ක් වන විට පැතුම් දැවී ගියේ, ලකුණු 56 ක් ලබා සිටියදී. දිනය අවසාන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිමුත් කරුණාරත්න ලකුණු 131 ක් ලබාගෙන සිටින අතර,  ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56 යි. හෙට තරඟයේ දෙවැනි දිනයයි.

    Last modified on ඉරිදා, 21 නොවැම්බර් 2021 19:04

    Latest News