අගමැති සිව්කොන් පාපන්දු තරගාවලියේ ජය සීෂෙල්ස් කණ්ඩායමට

නොවැ 20, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරගාවලියේ ශූරතාව අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ තියුණු තරගයකින් පසු සීෂෙල්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.

    තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ,කොළඹ තුරඟ තරග පිටියේදී. තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ද රැස්ව සිටියේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවති තරගයට පිවිසියේ, ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු වන ඩිලන් ද සිල්වා, කවිඳු ඉෂාන් සහ ඩක්සන් පූස්ලන් නොමැතිවයි. තරගය ආරම්භ වී සිව් වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ, මර්වින් හැමිල්ටන්.

    අනතුරුව, තරගයේ පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කිහිපයක් තිබියදී ප්‍රතිවාදී සීෂෙල්ස් කණ්ඩායම ද ගෝලයක් ලබා ගත්තේය.
    ඒ අනූව, තරගයේ පළමු අර්ධය නිමා වුණේ ගෝල එකට එකක් ලෙස දෙපිළම සම තත්වයේ සිටියදී. තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී 57 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ආකිබ් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබා ගත්තේය.

    අනතුරුව, 75 වැනි මිනිත්තුවේදී වාසිම් රාසික් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන ගෝලය ලබා ගත්තේ, තරගය ජයග්‍රහණයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට ලබා දෙමින්.
    වසීම් මෙවර තරගාවලියේදී ලබා ගත් 7 වැනි ගෝලය මෙයයි.

    කෙසේ වෙතත් තරගයේ 83වැනි සහ 89වැනි මිනින්තුවල දී සීෂෙල්ස් කණ්ඩායම ගෝල දෙකක් ලබා ගැනීමත් සමග තරගයේ නියමිත කාලය අවසන් වුණේ, දෙපිලම සම තත්වයේ සිටියදී. ඒ අනූව, ජයපරාජය තීරණය කිරීමට දඩුවම් පහර ලබාදුන්නේය.

    එහිදී සීෂෙල්ස් කණ්ඩායම දඩුවම් පහර 3ක් සාර්ථක කරගත් අතර ඔවුන්ට තරගාවලියේ ශූරතාව හිමිවිය. එම පරාජයත් සමග වසර 21කට පසු ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක ශූරතාව හිමිකර ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. කෙසේ වෙතත්, සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, වසර 15කට පසු ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් තරගයට පිවිසීම මෙරට පාපන්දු ක්‍රීඩාවේ සුබවාදී අනාගතයක පෙරනිමිත්තක් ලෙස සඳහන් කළ හැකියි.

    තරගාවලියේ වැඩිම ගෝල රැස්කළ ක්‍රීඩකයා බවට පත්වු වසීම් රාසික් තරගාවලියේ වීරයාට හිමිවන ගෝල්ඩන් බූට් සම්මානයෙන් පිදුම් ලැබීය. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරායි.

    ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක යන මහත්වරුන් ඇතුළු පිරිසක් තරගය නැරඹීමට එක්ව සිටියේය.

    Latest News