ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

ඔක් 21, 2021

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (20) සමත් විය.

    සුදුසුකම් ලැබීමේ වටය හෙවත් පළමු වටයේ ‘A’කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ලබන 23 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

    ශ්‍රී ලංකාවට එම කාණ්ඩයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම මෙම අවස්ථාව උදාකර ගැනීම විශේෂත්වයකි. එමෙන්ම අනුව සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද යන වග හෙට (22) නැමිබියාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් තීරණය වනු ඇත.

    අබුඩාබි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව කඩුලු 07ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 171ක් රැස් කළා. එහිදී මුල් කඩුලු 3ම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමත් සමග පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලැබූ වනිදු හසරංග ක්‍රීඩා පිටියට පිවිසියා. ඔහු හතරේ පහර 07ක් සහ හයේ පහරක් සමගින් පන්දු 38කදී විසින් සිය විස්සයි විස්ස දිවියේ කුලුදුල් අර්ධ ශතකය සම්පූර්ණකර ගැණින.

    වනිඳු සහ පැතුම් යුගලය සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 82කදී ලකුණු 123ක සබඳතාවයක් පිහිට වීමට සමත් විය. තරගයේ ආරම්භයේ පටන් පන්දුවාර 18.5ක් දක්වා ඉවසිලිමත් ඉනිමක නියැලුණු පැතුම් පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 61ක් රැස්කළේය. 

    ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූ නායක දසුන් ශානක පන්දු 11කදී නොදැවී ලකුණු 21ක් වශයෙන් රැස්කර ගැණින. අයර්ලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ජෝෂ් ලිට්ල් ලකුණු 23කට කඩුලු 04ක් දවාලූවේය.

    ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත පිලේ මුල් කඩුලු 3 ලකුණු 32කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව අයර්ලන්ත මැද පෙළ ශක්තිමත් කරමින් නායක ඇන්ඩි බල්බිර්නි සහ කර්ටිස් කැම්පර් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 51කදී ලකුණු 53ක සබඳතාවයක් පිහිටවුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

    මහීෂ් තීක්ෂණ එවූ 12වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කර්ටිස් කැම්පර් ලකුණු 24කට දැවී ගියේය. අයර්ලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දස්කම් හමුවේ වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

    Latest News