ශ්‍රී ලංකාව නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

ඔක් 19, 2021

    පන්දුවාර 20 ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමග ඊයේ රාත්‍රීයේ පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 96ක් පමණයි.

    දක්ෂ පන්දු යැවීමක නිරතවූ මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුළු 03ක් බිඳ හෙලීමට සමත් වුණා. ලහිරු කුමාර සහ වනිදු හසරංග කඩුලු 02ක බැගින දවා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් ලකුණු 26ක් තුළ බිඳ වැටිණ.

    ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ලකුණු 11කට දැවී ගිය අතර පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 05කටයි. අංක 03 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල්ද ලකුණු 05කට දැවී ගියේය.

    ඉන් අනතුරුව පිටියේ එක්වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ පන්දුවාර 13යි පන්දු 03කදී කඩුලු 03කට ලකුණු 100ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය අත්කර දුන්නේය. අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 28කදී නොදැවී ලකුණු 30යි.

    ඔහුගේ ඉනිමට 06 පහර 02ක් ඇතුළත් වුණා. භානුක රාජපක්ෂ පන්දු 27කදී නොදැවී ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක්ද සමගයි.

    තරගයේ වීරයා ලෙස මහීෂ් තීක්ෂණ සම්මාන දිනා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීලග තරගය හෙට අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

    Latest News