පැරාලිම්පික් ක්‍රීඩකයින්ට උපහාර පුදයි...

ඔක් 11, 2021

    පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දුන් දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි 5 ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් කෝටියක් අද පිරිනමා තිබෙනවා.

    ක්‍රීඩකයින්ට උපහාර පිදීමේ උත්සවය අද පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී.  නිමාවූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තා. ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9 ක්. මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලකදී පළමු රන් පදක්කම හිමි කරගත් දිනේෂ් ප්‍රියන්ත එෆ් - 46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා.

    සමිත දුලාන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමකර දුන්නේ එෆ් - 44 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්. අද ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි දෙකක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් ලක්ෂ 10 ක් පිරිනැමුණා. යගුලිය විසි කිීරීමේ තරගයට සහභාගී වූ පාලිත බණ්ඩාරට ක්‍රීඩා අමාත්‍යාංශය පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 2.5 ක්.

    මීට අමතරව, ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ඔරු පැදීමේ ක්‍රීඩක ප්‍රියමාල් ජයකොඩි, මලල ක්‍රීඩකයින් වන මධුරංග සුභසිංහ, සම්පත් හෙට්ටිආරච්චි සහ ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකාට ද රුපියල් ලක්ෂ 10 බැගින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබාදී තිබෙනවා. රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් මුදල රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක්. මීට අමතරව, යූ.පී.ඩී පෙරේරා, සජිත් ජයලාල්, ඒ.ආර්. රත්නායක සහ ලසන්ත වැලිකල යන පුහුණුකරුවන්ට ද මූල්‍ය ත්‍යාග පිරිනැමුණා.

    Latest News