චෙන්නායි සුපර් කිංග්ස්ට ලකුණු 20ක ජයක්

සැප් 20, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

    ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්, අතරමග නතර කෙරුණු තරගාවලිය යළිත් ඊයේ ආරම්භ කෙරුණේ ඩුබායිහිදී. දෙවැනි අදියරේ පළමු තරගය පැවැත්වුණේ, චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර.

    පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළේය. රුතුරාජ් ගයික්වාඩ් නොදැවී ලකුණු 88යි. ඔහුගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 26ක් සහ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 23ක් රැස් කළේය. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට්, ඇඩම් මිල්නේ සහ ජස්ප්‍රිට් බුම්රා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

    පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 136ක් පමණි. සවුරාබ් තිවාරි නොදැවී ලකුණු 50යි. පන්දු යැවීමේදී ඩ්වේන් බ්‍රාවෝ කඩුලු 3ක් බිඳහෙලීය. තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 20කින්.

    Latest News