පිටියට සමුදුන් මාලිංග මාධ්‍යයට කී දේ

සැප් 15, 2021

    මෙරටින් බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියෙන් ඊයේ සමුගත්තා. ඒ අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    38 හැවිරිදි ලසිත් මාලිංග කියා සිටියේ වසර 17ක් ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළින් තමා ලබාගත් අත්දැකීම් සහ දැනුම තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දකින්නට නොලැබෙන බවයි.
    ඒ අනූව 20-20 ක්‍රිකට් පිටියට ද සමුදීමට තීරණය කළ බවයි, ඔහු කියා සිටියේ. 2004 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමිකරගත් ලසිත් මාලිංග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේ, 2010 වසරේ දී.

    ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 226කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කඩුළු 338ක් දවාගෙන තිබිණ. මාලිංග 2019 ජුලි මස 26 වැනිදා බංගලාදේශයට එරෙහිව පැවති එක්දින තරගයෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට ද සමුදුන්නේය.

    අනතුරුව, ලසිත් මාලිංග ශ්‍රී ලංකාව නියෝජනය කළේ 20-20 ක්‍රිකට් තරග සඳහා පමණයි. 2006 වසරේ දී සිය පළමු 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නියෝජනය කළ ලසිත් මාලිංග අවසන් වරට 20-20 තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2020 වසරේ මාර්තු මාසයේදී.

    අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි විය. මේ දක්වා 2020 තරග 84කදී ජාතික කණ්ඩායම නියෝජනය කළ මාලිංග දමා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 107ක්.

    ඔහු මෙරට ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් 20-20 පන්දු යවන්නායි. මේ අතර 20-20 ජාත්‍යන්තර පිටියේදී කඩුලු 100ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංග. 2014 වසරේ දී 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ද මාලිංග කටයුතු කළේය.

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් මාලිංග සතුයි. පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගැනීමේ අවස්ථාව 2ක් සටහන් කළ එකම පන්දු යවන්නා ඔහුයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගවල දී කඩුලු ත්‍රිත්ව දෙකක් දවාගත් ලොව එකම පන්දු යවන්නා වන්නෙ ද ලසිත් මාලිංග. එක්දින පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් තුනක් දවාගත් එකම පන්දු යවන්නා ලෙසට ද ඔහු වාර්තා වෙයි.

    ඔහු 20-20 පිටියේ දී දවාගෙන ඇති කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාව 2ක්. ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 122කට ක්‍රීඩා කළ මාලිංග කඩුළු 170ක් දවාගෙන තිබෙන්නේ, එම තරගාවලියේ ද වැඩිම කඩුලුලාභියාගේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගනිමින්.

    මාලිංග සමුගැනීම ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ පිරිසක් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ඔහුට සුබපතා තිබිණ.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 14:59

    Latest News