කාන්තා විවෘත ටෙනිස් ශූරතාව එමා රෙඩුකානුට...

සැප් 12, 2021

    අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනිමට 18 හැවිරිදි බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා එමා රෙඩුකානු සමත් වුණා.

    වසර 44 කට පසුව බ්‍රිිතාන්‍ය ක්‍රීඩිකාවක් ජය ගත් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව මෙයයි. අවසන් තරගය ඊයේ පැවැත්වුනේ නිව්යෝර්ක් හිදී. අවසන් තරගයේදී එමා රෙඩුකානු ගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වුණේ කැනඩාවේ 19 හැවිරිදි ලෙයිලා ෆර්නැන්ඩස්. තරගයේ පළමු වටය ලකුණු 6 ට 4 ක් ලෙස ජය ගත්තේ එමා රෙඩුකානු. ඇය, තරගයේ දෙවැනි වටයද, ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගත්තා. ඒ අනුව, එමා රෙඩුකානු අවසන් තරගය ජයගත්තේ, වට 2 ට බින්දුවක් ලෙසයි.

    1968 වසරින් පසුව බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩිකාවක් ජයග්‍රහණය කළ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ලෙසයි මෙය වාර්තා වන්නේ. 2004 වසරේ මාරියා ශරපෝවා විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමෙන් පසු, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් දිනා ගත් ලාබාලතම ක්‍රීඩිකාව වන්නේ ද එමා රෙඩුකානු ය. එමෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් ජයග්‍රහණය කළ ලාබාලතම බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

    අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භ කිරීමට පෙර ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව ලොව 150 වැනි ස්ථානයේ පසු වූ එමා රෙඩුකානු මේ වන විට ශ්‍රේණිගත කිරීමේ ලේඛණයේ 23 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. 

    Latest News