ශ්‍රී ලංකා ක්‍රිකට් කලකට පසු තරගාවලි ජයග්‍රහණයක් ලබයි

ජූලි 30, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලකට පසු තරගාවලි ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා.

    ජයග්‍රහණයේ පිපාසයෙන් සිටි ශ්‍රී ලංකාව ඊයේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20 යි 20 තරඟයෙන් ජය ගත්තා. ඒ අනුව 2 ට 1 ක් ලෙස 20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වුනා.

    මෙය සැලකෙන්නේ 2019 වසරෙන් පසු ශ්‍රී කණ්ඩායමක් ලැබූ පළමු පන්දුවාර 20 යි 20 තරගාවලි ජයග්‍රහණය ලෙසයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියේ ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ද මෙය වීම විශේෂත්වයක්.

    කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 81ක් පමණි.  මෙය ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20යි 20 තරගයකදී තුන්වැනියට රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

    ශිකර් ධවාන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත් වුනා. කුල්දීප් යාදෙව් ලකුණු 23ක් ලබා ගත්තා. ඊයේට යෙදී තිබූ සිය 24වැනි උපන් දිනයදා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දුවාර 4 තුළ ලකුණු 09ක‌ට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුනා. එය පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී සිය උපන් දිනය දා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද සඳහන් වනවා. මීට පෙර ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් එම වාර්තාව පිහිටුවා තිබුණා. නායක දසුන් ශානක ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් අතර විශිෂ්ට උඩපන්දු 2ක් රැක ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදී ලකුණු 82ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා ගත්තා. මිනෝද භානුක ලකුණු 18ක් ලබා ගත් අතර වනිඳු හසරංග නොදැවී ලකුණු 14ක් ලබා ගැනිමට සමත් වුනා. ඒ අනුව 20-20 තුන්වැනි තරගයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 07ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. තරගයේ සහ තරගාවලියෙ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමි වූ වුනා.

    ක්‍රීඩා විචාරකයින් පවසන්නේ එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉතිරිව තිබියදී ලැබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවට යළි ජයග්‍රාහී රිද්මයට පිවිසීමට වැදගත් වනු ඇති බවයි.

    Latest News