ෂෙලී ඈන්ගෙන් ලොව දෙවැනි වේගවත්ම කාලයක්

ජූනි 06, 2021

    මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ලොව දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් ක්‍රීඩිකාව සමත්වූවාය.

    ඒ, ජැමෙයිකා ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේදී. 34 හැවිරිදි ෂෙලී ඈන් ෆ්‍රෙසර් තරගය නිම කිරීමට ගත කළ කාලය තත්පර 10.63ක්. මෙය 1988 වසරින් පසු මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලයයි.

    එම වසරේදී අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් තත්පර 10.49කින් මීටර් 100 ධාවන ඉසව්ව නිම කරමින් ලෝක වාර්තාව ද පිහිටුවා තිබේ. එම ඉසව්වේ තුන්වැනි වේගවත්ම කාලයට හිමිකම් කියන්නේ, අමෙරිකාවේ කාමලිටා ජෙටර්. ඇය තරගය නිම කළේ, තත්පර 10.64කින්.

    ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට සමත්වූවාය. ඒ, 2008 බෙයිජින් ඔලිම්පික් උළෙලේ දී සහ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී.

    ඇය ලෝක ශුරතා තරගාවලි 4කදී මීටර් 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තාය.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 12:12

    Latest News