ශ්‍රී ලංකාව-බංග්ලාදේශය 2වන ටෙස්ට් තරගය; ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 291යි

අප්‍රේ 29, 2021

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකැණු 291ක් ලබා සිටියේය.

    තරගය පැවැත්වෙන්නේ, පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කලේ, නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

    පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ දිමුත් අද තම 12 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. ඔහු තම ටෙස්ට් දිවියේ ලකුණු පන්දහසේ සීමාව ද අද පසු ක‍ළ අතර, ඒ, එවැනි දස්කමක් දැක්වූ 10 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි.

    දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 118ක් ලබා සිටියදී. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 209ක් ලෙස සටහන්ව තිබිණ. ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුගලක් මෙරට ටෙස්ට් තරගයකදී ලකුණු 200ක සබඳතාවක් පසු කලේ වසර 21කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර 2000 වසරේදී සනත් ජයසුරිය සහ මාවන් අතපත්තු පාකිස්තානයට එරෙහිව මෙම දස්කම දක්වා තිබිණ.

    ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 131ක් සහ ඔෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 40ක් ලබා සිටියේය.

    Latest News