කාන්තා “ටී-ටෙන්“ ක්‍රිකට් තරගයේ ජය එමිරේට්ස් කණ්ඩායමට

අප්‍රේ 06, 2021

    ඩුබායිහි ප්‍රථම වරට පැවති කාන්තා පන්දුවාර දහයේ “ටී-ටෙන්“ ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට එමිරේට්ස් කණ්ඩායම ඊයේ සමත්විය.

    එක්සත් අරාබි එමිර් ෆෙල්කන්ස් කණ්ඩායම සහ එමිරේට්ස් හොක්ස් කණ්ඩායම අතර තරගය පැවැත්විණ. මෙම කණ්ඩායම් දෙකේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම එක්ව සිටීම විශේෂත්වයක්.

    මුලින් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමිර් කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 56ක් රැස් කළේය. කණ්ඩායමේ නායිකාව වූයේ, කවීෂා කුමාරි. ඇය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්.

    ලකුණු 57ක ඉලක්කයක් හඹාගිය එමිරේට්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 56ක් පමණි. ඒ අනුව කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රීඩා කිරීමට සිදුවිය. ඉන් ලකුණු 5ක ජයක් හිමිකර ගැනීමට එමිරේට්ස් කණ්ඩායම සමත්විය.

    තරගයේ වීරයා සම්මානය හිමිවුයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක වන චාමනී සෙනෙවිරත්නටයි. එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ නායිකාව වූ යොවුන් ක්‍රීඩිකා කවීෂා කුමාරි ද ඩුබායිහි සිට ජාතික රූපවාහිනියට අදහස් පළ කළාය.

    Latest News