ශ්‍රී ලංකා - බ. ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

අප්‍රේ 03, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, ජය පරාජයෙන් තොරව නිමා විය.

    දෙරට අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහිදී. දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේය. කොදෙව්වන් දෙවැනි ඉනිම සඳහා කඩුලු 4කට ලකුණු 280ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

    ශ්‍රී ලංකා පිල ප්‍රථම ඉනිම සඳහා ලකුණු 258ක් ලබාගත් අතර, තරගයේ ජයග්‍රහණය සඳහා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමට රැස්කර ගත්තේ, කඩුලු 2ක් දැවී ලකුණු 183ක් පමණි. ඒ අනුව, තරගය නිමාවූයේ ජය පරාජයකින් තොරවයි.

    ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී නව වාර්තාවක් පිහිටුවීමට කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක දෙවැනි ඉනිමේදී මෙරට නායකයෙකු මෙතෙක් හිමිකරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.

    දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න ලකුණු 75ක් රැස් කළේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ, හිටපු නායක අර්ජුන රණතුංගයි. ඒ, 1997 වසරේදී, කොදෙව්වන්ට එරෙහිව ලකුණු 72ක් ලබා ගනිමින්.

    Latest News