සිය පළමු ටෙස්ට් තරගයෙන්, පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

මාර් 25, 2021

    තම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සමත්විය.

    මෙරට ක්‍රීඩකයෙකු එම දක්‍ෂතාව දක්වා ඇත්තේ, වසර 20කට පසුවයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද අවසන් වීමට නියමිතයි. තරගය ඇන්ටිගුවාහිදී පැවැත්වේ. සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය.

    නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ ධනංජය ද සිල්වා සහ පැතුම් නිශ්ශංක. ධනංජය ලකුණු 50කට දැවී ගියේය. අනතුරුව නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිශ්ශංක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ‍ගොඩනැඟු සබඳතාව ලකුණු 179ක්.

    පැතුම් නිශ්ශංක තම පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, ඔහු සිය පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ මෙරට සිව්වැනි ක්‍රීඩකයා බවට ද පත්විය. අවසන් වරට 2001 මෙම දක්‍ෂතාව දක්වා තිබුණේ තිලාන් සමරවීරයි.

    සිය පළමු ටෙස්ට් ශතකයට ලකුණු 4ක් තිබියදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 96කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 476ක්. පන්දු යැවීමේදී කෙමර් රෝච් සහ රකීම් කෝන්වල් කඩුලු 3 බැගින් දවාගත්තේය.

    කොදෙව් කණ්ඩායමට තරගය ජය ගැනීමට හිමිව ඇති ඉලක්කය ලකුණු 375ක්. ඊයේ සිව්වැනි දිනට තරගය අවසන් වනවිට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා පිල ලකුණු 169ක් රැස් කළ අතර, කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 271ක් ලබාගත්තේය.

    Latest News