ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මිළක් නියම නොවූ අයි පී එල් වෙන්දේසිය

පෙබ 19, 2021

    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සඳහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා.

    එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණ ද ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

    ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ අයි පී එල් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදාන ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා.

    කෙසේ වෙතත් මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියට එක්වන කිසිදු කණ්ඩායමක් ඔවුන්ගෙන් කිසිවෙකුත් මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

    සියළු කණ්ඩායම් තමන්ට ලබාගත හැකි විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා මේ වනවිට මිලදී ගෙන අවසන් බැවින් මෙවර අයි පී එල් තරගාවලියේදී කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට තරගවැදීමට අවස්ථාව හිමි නොවනු ඇති.

    මෙවර අයි පි එල් ක්‍රිඩක වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූයේ දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ටයි.

    ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16 යි දශම දෙකයි පහකට මිලදී ගනු ලැබුවා.

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම ද මෙය වනවා.

    Latest News