බ.ඉන්දීය කොදෙව් පිලට කඩුලු තුනක ජයක්

පෙබ 07, 2021

    ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි ඉනිමකදී තරගයක් හඹාගොස් ජයගත් පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව, රැස් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.

    ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු තුනකින් ජයගනිමින්. තරගය පැවැත්වුණේ බංග්ලාදේශයේ චිතගොන්හිදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. පළමු ඉනිමට ඔවුන් ලකුණු 430ක් රැස් කළ අතර, දෙවැනි ඉනිම සඳහා ලකුණු 223ක් ලබාගත්තා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 259ක්.

    තරගය ජයග්‍රහණයට කොදෙව් ක්‍රීඩකයන්ට ලකුණු 395ක ඉලක්කයක් හිමිවුණා. සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කේල් මයස් නොදැවී ලකුණු 210ක් රැස් කළා. හයේ පහර 07ක් සහ හතරේ පහර 20ක් ඊට ඇතුලත්.

    කොරෝනා වසංගතයත් සමඟ මෙම තරගාවලියට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් ගණනාවක් එක්ව නොමැති අවස්ථාවක අත්කරගනු ලැබූ මෙම ජයග්‍රහණය විශිෂ්ට ජයග්‍රහණයක් බවයි, විචාරකයින් පවසන්නේ. ආසියාවේ පැවති ටෙස්ට් තරගයකදී කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය ක්‍රිකට් ඉතිහාසගත වනවා.

    මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ ශ්‍රී ලංකාවයි. ඒ, 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිව්වැනි ඉනිමේදී ලකුණු 388ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජයගනිමින්.

    Latest News