එංගලන්ත පිලේ මොයින් අලීට කොරෝනා ආසාධනය වෙයි

ජන 05, 2021

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් – 19 වෛසරය ආසාදනය වී ඇතැයි, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

    පසුගිය ඉරිදා (03 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණවලට මුහුණ දීමෙන් පසු එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට අදාළ වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

    ඒ අනුව මෙරට පවතින නීරෝධායන නීති රෙගුලාසි වලට අනුව අලීට දින 10 ක කාලයක් ස්වයං නීරෝධායන කාලයකට යටත්ව සිටීමට සිදුවනු ඇති.

    මේ අතර ඔහු සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කළ ඇතැයි පැවසෙන ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක කාලයක් නීරෝධායනය වන ලෙස උපදෙස් ලැබී තිබෙන අතර ඔහුව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම තත්ත්වය මත එංගලන්ත කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් සහ නිලධාරීන් අද දිනයේදී (05) නැවතත් සිය දෙවැනි පී. සී. ආර්. පරීක්ෂණවලට භාජනය වීමට නියමිතව තිබේ.

    තරග 2 කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම ලබන 06 වැනිදා සිය පළමු පුහුණු සැසිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.

    Latest News