යුපුන් අබේකෝන්ගෙන් වාර්තා 2ක්

සැප් 09, 2020

    පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකර ගැනීමට යුපුන් අබේකෝන් සමත්විය.

    ඒ, ඊයේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී. ජර්මනයේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර සියය ධාවන ඉසව්වේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තරගය නිමා කළේ තත්පර 10.16කින්. එය ශ්‍රී ලංකා නව වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු නව වාර්තාවක් වීම ද විශේෂත්වයක්. යුපුන් විසින් මෙලෙස බිඳ හෙලනු ලැබූවේ තත්පර 10.2 2ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ එෂාන් පසුගිය වසරේ පිහිටුවා තිබූ වාර්තාවයි.

    හිමාෂ විසින් දෙවරක් අලුත් කරන ලද මේ වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ චින්තක ද සොයිසායි. යුපුන් අබේකෝන් අත්කරගත් මෙම සුවිශේෂි ජයග්‍රහණයට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් සිය සුබපැතුම් එක්කර තිබේ. යුපුන් මේ වනවිට ඉතාලියේ නේවාසිකව ක්‍රීඩා පුහුණුවීම්වල නිරතව සිටී. තම ජයග්‍රහණය පිළිබඳව ඔහු ජර්මනයේ සිට ජාතික රූපවාහිනියට අදහස් පළ කළේය.

    Latest News