දින 81කට පුහුණුවට ක්‍රීඩකයින් යළි පිටියට

ජූනි 02, 2020

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුවීම් අද ආරම්භ කෙරිණ. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු ඊයේ මෙම පුහුණු සැසිය සදහා කැදවනු ලැබූ අතර, පළමු දිනයේදී ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කෙරිණ.

    දින 81ක කාලයක් සඳහා තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් යළි ආරම්භ කෙරුණේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබාදී ඇති නීති රෙගුලාසිවලට අනුගත වෙමින්. ඒ අනූව, ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දින 12කින් සමන්විත පළමු පුහුණු වැඩසටහන සදහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 13 දෙනෙකු කැඳවීමටයි. ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිව් දෙනෙකුගේ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙයි.

    ඒ අනූව, නායක දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය හා ධනුෂ්ක ගුණතිලක පළමු වැඩසටහනට සහභාගී වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ, මෙහිදී ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම හා පන්දු රැකීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවයි. කොළඹ සීසීසී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේ දී බාහිර කිසිඳු පුද්ගලයෙකුට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ. කොටස් වශයෙන් පැවැත්වෙන පුහුණු වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරට පිතිකරුවන් වැඩි වශයෙන් සහභාගී කරගන්නා බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 12:34

    Latest News