කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

පෙබ 27, 2020

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 161ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිල තරගාවලියේ ජයග්‍රහණය ලබාගෙන තිබේ. තරගය පැවැත්වුණේ හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී. 2017 වසරේ ජුලි මාසයෙන් පසු සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවති පළමු අවස්ථාව මෙයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 2ක ලකුණු 9කට දැවී ගියේය. අනතුරුව, තෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ලකුණු 239ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. එය වාර්තා වන්නේ ඕනෑම කඩුල්ලක් සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු කොදෙව් කණ්ඩායමට එරෙහිව ගොඩනැඟු ඉහළම සබඳතාව ලෙසයි. කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින පිටියේ සිය ලකුණු දෙදහසේ සීමාව පසු කිරීමට ද සමත්විය. කුසල් මෙන්ඩිස් ලකුණු 119ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127ක් රැස්කර ගැනීමට සමත්වූහ.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39යි පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 184ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 161ක ජයක් හිමිවිය. මෙය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිල මෙතෙක් ලැබූ එක්දින විශාලතම ජයග්‍රහණයයි. තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු.

    Latest News