ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගය හෙට

පෙබ 21, 2020

    ශ්‍රී ලංකා-බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වේ.

    දෙපිලේ ක්‍රීඩකයින් අද එහි අවසන් පුහුණුවීම්වල නිරත වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග සංඛ්‍යාව 57ක්. ශ්‍රී ලංකා පිලට තරග 26ක ජය හිමිවු අතර තරග 28ක ජය අත්කර ගත්තේ කොදෙව් කණ්ඩායම. තරග 03ක් ජය-පරාජයෙන් තොරව නිමාවිය. අවසන් වරට කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළේ, 2015, 2016 තරග සමයේ. එම තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. හෙට තරගය පැවැත්වෙන්නේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එක්දින තරග 4ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පිල එහි තරග 2ක ජය හිමිකර ගත්තේය. එක් තරගයක් පරාජයට පත්විය. අනෙක් තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

    එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී අවසන් වරට දෙපිළ අතර තරගයක් පවත්වනු ලැබුවේ 2011 වසරේදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහි ජය වාර්තා කළේය. හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න කටයුතු කරයි. සෙසු ක්‍රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් හෙට තරගයට සහභාගි වනු ඇති බව වාර්තාවේ.
    රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ තරගය උදේ 9.00 සිට සජීව ලෙස නැරඹිය හැකියි.

    Latest News