ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණගෙන් පැ.කි. 175ක වේග පන්දුවක්

ජන 20, 2020
  • ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් පිළේ මතීෂ පතිරණ පැයට කිලෝමීටර් 175ක වේග පන්දුවක් යවා වාර්තාවක් තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 19 පහළ ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේදී මෙම පන්දු යැවීම වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    සියල්ල පුදුමයට පත් කරමින් මතීෂ පතිරණ යැවූ පන්දුව පැයට කිලෝමීටර් 175ක වේගයක් සටහන් වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. ඒ අතර මේ පිළිබඳ විරාට් කෝලි ද ට්විටර් පණිවිඩයක ඒ බව සටහන් කර ඇත.

    එය වයිඩ් පන්දුවක් ලෙස සටහන් වුවත් මෙතෙක් යැවූ වේගවත්ම පන්දුව ලෙස එය වේග මාපකයේ සටහන් විය. නමුත් පන්දුවල වේගය ගණනය කරන යන්ත්‍රයේ දෝෂයක් නිසා එය සිදුවී ඇති බව එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත.

    මීට පෙර වේගවත්ම පන්දුව යාවා වාර්තාවක් තබා ඇත්තේ 2003 වසරේ එංගලන්තයට එරෙහිව ෂොහීබ් අක්තාර් විසින් පැයට කිලෝමීටර් 161.3ක පන්දුවක් යැවීමෙනි.

    මේ අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අප කළ විමසීමකට අනුව ඔවුන් සඳහන් කළේ මෙය නිල වාර්තාවක් ලෙස පිළිගැනීම ගැටළු සහගත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව තවමත් වේගපන්දු ලෝක වාර්තාව පාකිස්තානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ‍ෂොයීබ් අක්තාර් සතු වනු ඇත.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 14:01

    Latest News