ශ්‍රි ලංකා පුහුණු තරගය - ඇන්ජලෝ ලකුණු අතරට

දෙසැ 08, 2018

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 67ක් ලබා සිටියි.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 210ක් රැස්කරගෙන සිටිය දී නවසීලන්ත කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක හා ලහිරු තිරිමාන්න අද දිනයේ දී අසාර්ථක විය. 

    නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක් රැස්කිරීමට සමත් විණ.  ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 128ක් රැස්කළ අතර සෙසු එකඳු ක්‍රීඩකයෙකුටවත් ලකුණු 15 සීමාව පසු කිරීමට නොහැකි වුහ.

    නවසීලන්ත කණ්ඩායමේ ද ඉදිරි පෙළ පිතිකරුවන්ට සාර්ථක ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය. ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුහ.

    හෙට තරගයේ දෙවැනි දිනයයි. 

    Latest News