Update : ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට ඇප (වීඩියෝ)

දෙසැ 30, 2019
  • පැහැරගෙන යාමට ලක්වූ බව පවසමින් අසත්‍ය තොරතුරක් ප්‍රකාශ කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැරිස්ටර් ෆැන්සිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේ.

    ඇපකරුවන්ගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් සහ සැකකාරයගේ ස්ථිර වශයෙන් පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.

    පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතු යැයි සැකකාරියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය පදිංචියේ වෙනසක් සිදුවෙන්න නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවත් නියෝගයේ සඳහන් කළාය.

    සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් වෙනත් අන්‍ය නීතියක් යටතේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් අධිකරණය දැනුවත් කළ යුතු බවට නියෝගයේ  කෙරිණ.

     මෙම සැකකාරිය, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස රහස් පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඉල්ලා සිටියා.

    සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ.

    ඒ අනුව රහස් පොලිසිය විසින් ඉල්ලා සිටින අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෞද්ගලික දුරකතන සමාගමකට නියෝග කළාය.

    මීට අමතරව පොලිස් විමර්ශන වලට අවශ්‍ය කරන දැනට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයක් ද විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය වෙත භාරදීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දු වුණාය.

    එම දුරකථනය භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියම කළාය.

    අද පැමිණිල්ල කැඳවු ලැබූ අවස්ථාවේදී ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණත් මෙම සිද්ධියේ සැකකාරියට යුක්තිය ඉටු කරනුවස් ඇය විසින් ප්‍රකාශකර ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කියා සිටියා.

    සැකකාරියගේ දරුවන් තිදෙනාත් ඇයගේ මවත් දැනට දින දෙකකට පෙර ස්විස්ටර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම තත්වය හමුවේ සැකකාරිය ද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා ගතහොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද සඳහන් කර සිටියා.

    ඒ අනුව අප ප්‍රදානය කළ හොත් ඇය අධිකරණය මග හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා ඔහු දුන්නා. එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ තම සේවා දායිකාවගේ දරුවන් තිදෙනාත් මවත් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙන බවත් ඔහුට ඉදිරි පාසල් කාලය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

    එහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියෙන් විමසා සිටියේ සැකකාරියගේ මව ඇයගේ දරුවන් තුන් දෙනා සමග ස්විස්ටර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැන ගත්තේ කෙසේද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා කියා සිටියේ රහස් පොලිසියේ ගුවන් තොටුපොල ශාඛාව ලබා දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශය කරන බවයි.

    කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දරුවන් තුන් දෙනා සහ ඇයගේ මව සිංගප්පූරුවට ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරිය එම කරුණ මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කලා. 

    දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට තීන්දුකල මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළා.

     

    ගානියා ෆ්‍රැන්සිස් අධිකරණය හමුවට - (9:50)

    පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කෙරිණ.

    ඒ අදාළ කාන්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගියදා (16) අධිකරණයට ඉදිරිපත් කළාය. ඒ එම කාන්තාව රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාව මතයි.

    අධිකරණය හමුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, ගානියා බැරිස්ටර් මහත්මියගේ ප්‍රකාශ තුළ දැඩි පරස්පරතාවක් ඇති බවයි. අදාළ කාන්තාව පැහැරගත් බව කියන සිදුවීමේදී තමාට ශාරිරික වඳ හංසා සිදුවූ බවට ප්‍රකාශ කළ ද සිදු කළ විමර්ශනවලදී එවැනි කිසිවක් හෙළි නොවූ බවද, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම සිද්ධිය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ගොතන ලද කතාවක් බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේය.

    ඒ අනුව, අදාළ කාන්තාව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම තුළ සහ අදාළ කාන්තාවගේ සාක්‍ෂිවලින් පෙනී යන ආකාරයට ඇයට ශාරීරික වඳහිංසනයක් සිදු නොවී ඇති බවට, තහවුරු වන බවයි.

    ඒ අනුව නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය, ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සින් මහත්මිය අද දක්වා (30) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

    පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 20:24

    Latest News