නීති විරෝධි මත් උවදුර සහ සංක්‍රමණ වැලැක්වීමට නාවික හමුදාවෙන් වැඩපිළිවෙලක්

දෙසැ 29, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව නීති විරෝධි සංක්‍රමණ කටයුතු පිළිබඳව ධීවර සංගම් නියෝජිතයින් හරහා බහුදින ධීවර ප්‍රජාව මත් උවදුර පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දි පවත්වනු ලැබිණ.

    විවිධ පුද්ගලයින් ධීවරයින් ලෙස පෙනි සිටිමින් සාගරය උපයෝගී කරගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ නීති විරෝධී සංක්‍රමණික කටයුතු සිදු කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. එවැනි නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමට නාවික හමුදාව විසින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් එහි පැහැදිලි කළේය.

    මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ නීති විරෝධි සංක්‍රමණ කටයුතුවල යෙදෙන දේශීය සහ විදේශීය ධීවර යාත්‍රා පිළිබඳව ධීවර ප්‍රජාව දන්නා තොරතුරු වහාම නාවික හමුදා මෙහෙයුම් මැදිරියට දැනුම් දීම, සැක සහිත ධීවර යාත්‍රා හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම් දීම, ධීවර යාත්‍රාවල ගමන් ගන්නා පුද්ගලයින් නිසි ක්‍රමවේදයක් තුල අධීක්‍ෂණය කිරිම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී වැඩි දුරටත් අවධාරණය කරන ලදී. එමෙන්ම, බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් ඔස්ට්‍රේලියාව සහ රියුනියන් දිවයින දක්වා නීති විරෝධීව සංක්‍රමණික කටයුතු සිදු වන ආකාරය සම්බන්ධව ද පැමිණ සිටි පිරිස දැනුවත් කල අතර, එම නීති විරෝධී සංක්‍රමණිකයින් එම රටවල් වලින් නැවත හරවා යැවිම සිදු කරන බවත්, යාත්‍රා නැවත ලබා දීමක් සිදු නොවන බවත් අවධාරනය කරමින් මෙම නීති විරෝධී කටයුතු සඳහා ධීවර යාත්‍රාවල හිමිකරුවන් මෙන්ම යාත්‍රාවල කාර්යමණ්ඩලයන් යොමුවීම පිළිබඳව ද සහභාගීවුවන්ගේ අවධානය යොමු කරන ලදී.

    ධීවර යාත්‍රා අනතුරට පත් වූ අවස්ථාවල මෙන්ම එහි කාර්ය මණ්ඩලය හදිසි රෝගී තත්වයන් ඇතිවු විට ඒ සඳහා නාවික හමුදාව සහයෝගය දක්වන ක්‍රම‍වේදය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලද අතර, නිරන්තරයෙන් නාවික හමුදාව පුද්ගලයින්ගේ ජිවිත බේරා ගැනීම සඳහා සෘජුවම දායකත්වය ලබා දීමට කටයුතු කරන බවත්, කාර්මික දෝෂයන් හෝ වෙනත් හේතුන් මත ධීවර යාත්‍රාවන් අක්‍රීය තත්වයට පත්වූ අවස්ථාවන්වලදී ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි හැකි අයුරින් සම්පත්දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

    මෙහිදී පැමිණ සිටි ධීවර නියෝජිතයින් විසින් ඔවුන්ගේ ගැටළු ද නාවික හමුදාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද අතර, එම ගැටළු සඳහා පවතින ක්‍රමවේදය සහ නීති රාමුව තුල විසදුම් ලබා දීමට කටයුතු කරන බව නාවික හමුදාධිපති විසින් පැහැදිලි කළේය.

     

    Latest News