කැලණි පාලම අවට විශේෂ රථවාහන සැලැස්මක්

දෙසැ 19, 2019

    කැලණි පාලම අසළින් රථ වාහන ඇතුළුවීම එක් මංතීරුවකට පමණක් තාවකාලිකව සීමා කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එය අද සිට ලබන ජනවාරි 20 දක්වා ක්‍රියාත්මකයි. කැලණි පාලම අභියස මහනුවර සිට කොළඹ රථ වාහන ඇතුළු වන මංතීරු දෙකෙන් එකක සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනූව, කඩවත සිට කොළඹ දෙසට පැමිණෙන බර වාහන කඩවත අන්තර් හුවමාරුව භාවිත කරමින්, කෙරවලපිටිය දක්වා පැමිණ, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් පෑලියගොඩින් දකුණට හරවා නවලෝක වටරවුමෙන් ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ කොළඹ කොටුවට ප්‍රවේශ විය හැකියි.

    අධිවේගී මාර්ගය භාවිත කිරීමට නොහැකි අනෙක් සියලු රථ මහර, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවලින් වත්තල ප්‍රදේශයට ප්‍රවිෂ්ඨවී, කොළඹ - පුත්තලම මාර්ගයට පැමිණ ජපන් මිත්‍රත්ව පාලම ඔස්සේ කොළඹට පැමිණීමට හැකියාව පවතියි. කිරිබත්ගොඩ පසුකර පැමිණෙන වාහන වෙදමුල්ල වටරවුමෙන් දකුණට පැමිණ, කොළඹ - කටුනායක අධිවේගී ප්‍රවේශ මාර්ගය හාරහා පුත්තලම - කොළඹ මාර්ගයට ප්‍රවේශ විය හැකියි. බේස්ලයින් මාර්ගය භාවිත කර, පැමිණෙන වාහන නුවර පාරේ වෙදමුල්ල වටරවුමෙන් දකුණට හරවා කොළඹ - කටුනායක මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගය ඔස්සේ කැලණි පාලම භාවිත කරමින් පැමිණිය හැකියි. කොළඹ නාගරික පොලීසිය, මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මෙම නව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 10:30

    Latest News