දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම් සභාව හමුවට (වීඩියෝ)

දෙසැ 14, 2019

    පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ අනතුරු ඇඟවීමේ ලිපිය අප්‍රේල් 21 වැනිදාට පෙර දිනයකදී පොලිසියට ලද බවට ලේඛණ ගත කරන ලෙස එවකට කොළඹ උතුර බාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබාදුන් බවට දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

    පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ. අද දිනයේ ප්‍රථමයෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබුවේ, කොළඹ උතුර කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරී එච්.ඩී. නෙරංජල අබේවර්ධන මහතායි. තමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ ලිපිය පිළිබඳව දැනුවත්ව නොසිටි බව, ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනි දින උතුරු කොට්ඨාස බාර පොලිස් අධිකාරි සංජිව බණ්ඩාර මහතා තමා සමඟ දුරකථනයෙන් කථා කළ ද මෙවන් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බවයි. අනතුරුව, කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් එවකට දෙමටගොඩ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම්.ඩී. අනිල් ජයන්ත මහතා කියා සිටීයේ ඔහු අප්‍රේල් 17 වැනිදා සිට දින 5ක් නිවාඩු ගොස් සිටි බවයි.

    ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මෙහිදී සඳහන් කලේ, ප්‍රහාරයට පෙර තමාට අනතුරු ඇඟවීමේ ලිපි නොලැබුණු බවත්, 21 සහ 22 වැනිදා තමා ක්‍ෂේත්‍ර රාජකාරිවල නිරතව සිටි බවයි. කෙසේ වෙතත් මෙම ලිපිය 21 වැනිදාට පෙර පොලිසියට ලැබුණු බවට ලේඛන ගත කරන ලෙස පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, උපදෙස් ලබාදුන් බවද, අනිල් ජයන්ත මහතා කියා සිටී. එම ඉල්ලීම තමා ප්‍රතික්ෂේප කළ බවද ඔහු කොමිසමට පැවසීය. එය ප්‍රතික්‍ෂේප කිරීමට හේතුව කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී පොලිස් පරීක්‍ෂකවරයා සඳහන් කලේ එහි ප්‍රතිවිපාක දන්නා බවත්, මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කෙරෙන කලකදී තමාට තමන් පමණක් ඉතිරි වන්නේ යැයි දැන සිටි බවයි. පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා පමණක් මෙම ඉල්ලීම සිදු කළේ ද යන්න විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ පෞද්ගලික සහකාර පොලිස් අධිකාරි උපේන්ද්‍ර මහතා ද මෙම ඉල්ලීම සිදු කළ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීමේ ලිපිය යොමුකර තිබූ යොමු අංකයෙන්ම 2019 අප්‍රේල් 11 වැනි දින ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් විමසා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත ලිපියක් ලැබී ඇති බව, කොමිසම මෙහිදී අනාවරණය කළේය. ඊට පිළිතුරු ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනිල් ජයන්ත මහතා කියා සිටියේ, මෙම අනතුරු ඇඟවීම කලින් දැනුම් දුන් බවට හැඟවීමේ අරමුණින් මෙය සිදු කරන්නට ඇතැයි තමා සිතන බවයි.

    පාස්කු ප්‍රහාරය එල්ල වූ දින දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. කොමිසම විමසා සිටියේ ඊට අදාළව කිසිවෙකුගෙන් හෝ ප්‍රකාශ සටහන් කර ගත්තේ ද යන්නයි. එදින එම නිවසේදී බෝම්බ පිපිරීම සිදුකර ගත් කාන්තාවගේ මවගේ හා පියාගෙන් සාක්‍ෂි , සටහන් කර ගෙන ඇති අතර, මව පවසා ඇත්තේ, තම දියණිය වෙනදාට වඩා එදින ආගම අදහමින් සිටි බවයි. එම නිවසේ සේවිකාවගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, පිපිරීම සිදුකරගත් දිනයේ එදින මියගිය දරුවන් කාමරය තුළ පමණක් තබා ගෙන සිටි බවට ඔවුන් ප්‍රකාශ කර සිටී.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:23

    Latest News