පසුගිය රජය හම්බන්තොට මුල්ගල තැබු ගම්මාන 337 කින් 253ක මුල්ගල් පැලවෙලා (වීඩියෝ)

දෙසැ 14, 2019

    පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළද ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) දින පැවැත්විණි.

    හම්බන්තොට දිස්ත්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී. වී. චානක මහතාද සහභාගී වුයේය.

    පසුගිය රජය සමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

    පසුගිය රජය හම්බන්තොට ගම්මාන 337 ක ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඉන් ගම්මාන 84 ක් ජනතා අයිතියට පත් කර ඇති අතර ඉතිරි ගම්මාන 253 වැඩ අවසන් කර නොමැත. 2015 වසරේදී ගම්මාන 15 ක ඉදිකිරීම් ආරම්භ කර ජනතා අයිතියට පත්කර ඇත. 2016 වසරේදී ගම්මාන 77 ක ඉදිකිරීම් ආරම්භ කර ඉන් 49 වැඩ අවසන් කර ඇති නමුත් 28 වැඩ අවසන් කර නොමැත. 2017 වසරේ ගම්මාන 50 ක් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 8 ක් පමණි. 42 ක වැඩ අවසන් කර නොමැත. 2018 වසරේදී ආරම්භ කර ඇති ගම්මාන 104 න් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 15 ක් පමණි. ගම්මාන 89 ක වැඩ අවසන් කර නොමැත. මෙම වැඩ අවසන් නොකළ ගම්මානවල වැඩ අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වසරින් වසර ආරම්භ කළ ගම්මානවල වැඩ අවසන් නොකර, අලුතින් තවත් ගම්මාන ඉදිකිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වුයේය.

    පසුගිය රජය විසින් ග්‍රම ශක්ති නිලධාරීන් 680 දෙනෙක් බඳවා ගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු තොරතුරු සටහනක් නොමැති බවත් මෙහිදි අනාවරණය කෙරිණ. දේශපාලන අවශ්‍ය මත ග්‍රාමශක්ති නිලධාරීන් හරහා රුපියල් 20,000 බැගින් ණය මුදල් ලබා දී ඇති අතර ඒ පිළිබ‍ඳව කිසිඳු තොරුතුරක් හෝ එම ණය නැවත අයකර ගන්නා ආකාරය පිළිබඳව තොරතුරු නොමැත. මෙහිදි බොහෝ ගැටළුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත්, නිරුත්තරවීමත් සිදුවුයේය. එමගින් රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිතා වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා නිසි අවසරයකින් තොරව වන සංරක්ෂණ ප්‍රදේශ හෙළි කිරීම හා අලිමංකඩවල සහ වැව් රක්ෂිත ඉඩම් යොදාගෙන අවිධිමත් ලෙස නිවාස ගම්මාන ඉදිකර ඇති බවත්, ඒ සඳහා අදාළ ආයතනවලින් නිසි පරිදී අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් මිලියන 480 ක් පමණ වැයවන බවත්, නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 350 ක් පමණක් බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් සඳහන් වේ.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කොටසක් පසුගිය රජයෙන් නිවාස ලබාගෙන අද අසරණ තත්ත්වයට පත්වී සිටිනවා. තවත් කොටසක් රැකිය ලබාගෙන අසරණ වී සිටිනවා. මෙම දිස්ත්‍රික්කයේ නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවසරයකින් තොරව හිතුමතේට වනාන්තර හෙළි පෙහෙළි කිරීම තුළින් පරිසරය විනාශ වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි ග්‍රාමිය ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී පර්චස් 40 ට වඩා වැඩිනම් පමණක් නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබා ගත යුතුයි. ඊට අඩුනම් අදාළ ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් පසුගිය රජය එම කටයුත්ත වත් නිසි පරිදී ඉටුකර නැහැ. ඉදිරියේදී මෙම ප්‍රශ්න සියල්ලට විසදුම් ලබා දීමට කටයුතු කරනවා” යනුවන් පැවසීය.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා “ නිවාස ඉදිකිරීමට අප විරුද්ධ නැහැ. නමුත් එයින් රටත්, ජනතාවත් අපහසුතාවයට පත්වෙනවා නම් එයට අප විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ. මෙම ගැටළු සඳහා රාජ්ය නිලධාරීන් ලඟ පැහැදිළි විසඳුම් නැහැ. වනාන්තර හෙළිකර අපට හිතුමතේට සංවර්ධන කටයුතු සිදු කරන්න බැහැ. එයට අප ඉඩ ලබා දෙන්නේ නැහැ.හම්බන්තොට දිස්ත්රි ක්කය හරිත කලාපයක් ලෙස දියුණු කිරීම අපේ අරමුණ. මෙම සාකච්චාවේ ඉදිරිපත් වූ ගැටළුවලට කඩිනමි විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත්කර අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට වාර්තාවක් ලබා දීමට කටයුතු කරනවා. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ගනු ලැබූ තීන්දු තීරණ හා සමානව සලකා කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන්ද පැවසීය.

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 20:17

    Latest News