වැසි තත්වය හෙට සිට තාවකාලිකව පහව යයි

දෙසැ 10, 2019

    උතුර-නැගෙනහිර, ඌව යන පළාත්වල දැනට පවතින තද වැසි තත්වය හෙට සිට තාවකාලිකව තරමක් පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් විටින් විට වැසි හටගත හැකියි. අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු හා සුළං තත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. නැගෙනහිර, උතුර, උතුරු මැද, ඌව යන පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මිලිමීටර 75ට වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකියි. සබරගමුව, බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 75ත් 100ත් අතර තරමක තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරේ.

    කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල ද තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි බලාපොරොත්තුතු විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70-80 දක්වා තාවකාලික තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතී. එම නිසා අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වේ.

    Latest News