උපාධිධාරී ගුරුවරුන් බිහි කිරිමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්; අමාත්‍ය ඩලස්

දෙසැ 10, 2019

    දිවයිනේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්විය යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද සංවිධාන කර තිබූ උද්ඝෝෂණ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. උද්ඝෝෂණය පැවැත්වුණේ, පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී. ශිෂ්‍ය උපදේශන විභාගය, ගුරු විභාගය හා ජාතික පාසල් ගුරු විභාගය සමතුන්ට රැකියා ලබාදෙන ලෙස උද්ඝෝෂකයන් මෙහිදී ඉල්ලා සිටියේය. 

    පුජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි - කැඳවුම්කරු ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය.....

    “ගුරු විභාග සමතුන් හා ශිෂ්‍ය උපදේශන විභාග සමතුන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් වසර කිහිපයක සිට පත්වීම් නොලද පීඩාවට පත්ව සිටී. පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ලංකාව පුරා ගුරු පුරප්පාඩු 40,002ක් පවතින බවයි. එහෙත් එම කරුණු ඔවුන් විසින් සැලකිල්ලට ගත් වගක් අපට නොපෙනේ“ යැයි පුජ්‍ය තැන්නේ ඥානන්ද හිමි පැවසූහ. උද්ඝෝෂකයන් ඉදිරිපත් කළ ලිපිය භාරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී එම ස්ථානට පැමිණියේය. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ගැටලුවලට නුදුරේදීම විසඳුම් ලබාදෙන බවයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා....

    “පළාත් සභාවලින් වෙන ගුරුපත්වීම් දීලා පුරප්පාඩු වැහිලා. අපි දැන් තීන්දුවක් ගත්තා කමක් නැහැ මේ 675ම නිකුත් කරන්න. ඕගොල්ල ඉන්න බව දැනගෙන නෙමෙයි. ඕගොල්ලන්ගේ උද්ඝෝෂණය හින්දා නෙමෙයි. මේ න්‍යාය පත්‍රය හැදෙන්නේ දැන් සතියකට ඉස්සෙල්ලා. දැනට අපි ඒ තීන්දුව අරගෙන තියෙනවා. ඒ වගේම ධර්මාචාර සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ ඉතා පැහැදිලිවම කරලා තියෙනවා අපි ඔය අයව බඳවා ගන්නවා කියලා. දැනටම අධ්‍යාපන අමාත්‍යංශයටත් උපදෙස් දුන්නා ජනාධිපතිතුමාම. ඒ වගේම අපි දැන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන මේ රටේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කරන්න ඕනේ කියලා“ යැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    පුජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි....

    “ආණ්ඩුව මේ ගන්න ප්‍රවේශය ගැන අපිට සතුටුයි. මේ ගන්න යහපත් ප්‍රවේශය යහපත් විදියට විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා“ යැයි පුජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පැවසූහ.

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 19:02

    Latest News