විදුලිබල ක්ෂේත්‍රයේ අර්බුද ජනපතිගේ අනුදැනුමට

දෙසැ 10, 2019

    ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ දැනට මතුව තිබෙන ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    විදුලිබල ක්ෂේත්‍රය තුළ ඉදිරි කාලය තුළ මතුවිය හැකි ගැටලු පිළිබඳව හා ඒවාට ලබා දිය හැකි විසදුම් සම්බන්ධයෙන් අද (10) විදුලිබල අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණ. මෙම සාකච්ඡාවට විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, විදුලිබල මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    2014 වසරේ සිට ගතවූ වසර 5කට අධික කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියට එක ඒකකයකින් හෝ නව විදුලි ධාරිතාවක් එකතු කිරීමට පසුගිය රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ කිසිදු හිඟයකින් තොරව විදුලිය උත්පාදනය සඳහා නව විදුලිබල ව්‍යාපෘති රැසක් ආරම්භ කරන බවත් සඳහන් කළේය. එමෙන්ම විදුලිබල උත්පාදනය සඳහා අනුගමනය කළහැකි ආර්ථිකමය වශයෙන් ලාභදායී විදුලිබල උත්පාදන ක්‍රම සම්බන්ධව දැනටමත් අවධානය යොමු කර තිබෙන බවද පැවසීය.

    ජාතික විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මෙන්ම ඉදිරි සංවර්ධන කටයුුතු පිළිබඳවත් කෙටි කාලීනව හා දිගු කාලීනව විදුලිබල අර්බුදයට ගතහැකි විසදුම් සම්බන්ධවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දැනුවත් කිරීම සඳහා ලබන බ්‍රහස්පතින්දා එනම් 12 වන දින ජනාධිපති කාර්යාලයේදී පියවර ගන්නා බව සඳහන් කළේය. එහිදී විශේෂයෙන් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි විදුලිබල ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ අනුමැතිය ලබාගැනීමටත් ඉන් ඇති වන වාසි සම්බන්ධව අවධානය යොමු කිරීමටත් නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 15:37

    Latest News