ජුඩ් ශ්‍රමන්තගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

දෙසැ 10, 2019

    රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ මරණිය දණ්ඩනය නියම වී පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව සමාව ලබා දුන් ජුඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැති විත්තිකරුට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි මස 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේය.මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ආගමන සහ විගමන පාලකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කළේය.

    එම දිවුරුම් පෙත්සමට අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා නොවැම්බර් මස 15 වනදා විදේශගත වී ඇති බවට වාර්තා කර ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව ලැබූ විත්තිකරු සිංගප්පූරුවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් එබැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය හැකියාවක් පවතින බවත් සඳහන් කළේය.

    මහබැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින අතර ඔහු ගෙන්වාගැනීමට නීතිමය පියවර ගැනෙන ආකාරයට මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට හැකියාව පවතින බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ.

    මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පෞද්ගලිකව වගඋත්තරකරුවකු කරමින් සංශෝධිත පෙත්සමක් පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබිණ.ඒ අනුව අදාළ සංශෝධිත පෙත්සමේ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මැයි මස 29 වැනිදා සිදු කරන බව නියෝග කළේය.

    එමෙන්ම ජුඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තාට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය ජුනි මස 01 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කාන්තා මාධ්‍ය එකමුතුව නමැති සංවිධානයක් විසින්.

    පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබුණත් බරපතල අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

    එබැවින් අදාළ විත්තිකරුට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බවට තීන්දු කොට එම විත්තිකරු නැවත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබේ. එමෙන්ම අදාළ විත්තිකරු විදේශගත වීම වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 11:48

    Latest News