SLT, මෑන් පවර් සේවක ගැටලුවට ඇමති බන්දුල මැදිවේ (වීඩියෝ)

දෙසැ 09, 2019

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ, මෑන් පවර් සේවකයන්ගේ ගැටලු සාකච්ජා කිරීමේ විශේෂ හමුවක්, විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ දී අද (09) පැවැත්විණ.

    වෘත්තිය සමිති නියෝජිතයන් ද සාකච්ජාවට එක්වූහ. මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම සහ ඔවුන්ගේ වැටුප විශේෂයෙන් අවධානයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් ද වෘත්තිය සමිති නායකයන් අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

    එහිදී අදහස් දැක්වූ වෘත්තිය සමිති නියෝජිතයන්...

    පාරිභෝගිකයන්ගේ සත්කාරය කියන එක, අන්තිම තැනටම පිරිහිලා තියෙන්නෙ ටෙලිකොම් ආයතනයේ.

    බිලියන ගණන් ණය වෙලා තියෙනවා බැංකුවලට.

    අපි ඔබතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න කියලා.

    ඔබතුමා ටෙලිකොම් ආයතනයට එන්න.

    ඇමතිතුමනි, මේක ගසාකන කාලෙ ඉවර කරල තියෙන්නෙ.

    ඊයේ පෙරේදා වෙනකොටත්, බිලියන ගණනක ණයක් ගන්න හදනවා.

    ඊටත් එහා සභාපතිවරයාගේ වැටුප ගැන සොයන්න ඕනේ.

    එස්.එල්.ටී. එකෙන් ගත්ත ලක්‍ෂ 4ක වැටුපකට තමයි ආවෙ.

    ඊට පස්සෙ මොබිටෙල් එකෙනුත් ලක්‍ෂ 4ක් ගත්තා. මේ දෙක එතතු වුණාම ලක්‍ෂ 8යි.

    එතුමා අන්තිම මොහොතේ බෝඩ් පේපර් එකක් දැම්මා, මම එස්.එල්.ටී. එකේ ඉඩම් ප්‍රමාණය හරියට හදල තියෙනවා. හිටපු ජනාධිපතිවරයාට කියලා. ඒ වෙනුවෙන් ප්‍රසාද දීමනාවක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ ප්‍රමාණය බෝනස් 4ක්.

    එතුමාට ඒක හිමි නැති දෙයක්.

    බෝනස් 4 කීයද?

    ලක්‍ෂ 70ක් විතර වෙනවා.

    මේ ඉන්න මැලේෂියන් බෝඩ් එකේ කට්ටිය. මෙයාල එක්ක එකතු වෙලා, හොරකම්වලට පුදුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා රාජ්‍ය බලය යොදවලා, මෙයාලගෙ බෝඩ් එකට කියන්න, මේ කට්ටිය වෙනස් කරන්න කියලා.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “අපි බලමු කොහොමද කරන්නේ කියලා නීතිපතිගෙන් අහලා. දැන් පාරට බහින්න ඕනේ නැහැ. දැන් අපේ රටේ අලුත් ජනාධිපතිතුමා යටතේ දේශපාලන සංස්කෘතියක් අපි හදන්නේ ප්‍රශ්න කියන එක ඉස්සෙල්ලා ආයතන ඇතුලේ විසඳන්න බලන්න ඕනේ, සමහර පාලකයෝ කන්දෙන්නේ නැත්නම් ඒ ආයතනයට ඔබ්බුස්මන්වරයෙක් හරි පත්කරලා. කලින් ආණ්ඩුව කන්දුන්නේ නැහැ. දැන් මේක කන්දෙන ආණ්ඩුවක්. දැන් මම ඕගොල්ලන්ට 16 දිනයක් දෙනවා. මේකට අදාළ නිලධාරින් ගෙන්නනවා. වෘත්තිය සමිති ගෙන්නනවා. එතකොට මොකක්ද ගන්න පුලුවන් තීන්දුව කියලා කතාකරමු.

    මාධ්‍ය ආයතනවලට තියෙනවා චෝදනාවක් පසුගිය කාලය තුළ වංචා, දූෂණ, අක්‍රමිකතා, කොච්චර වෘත්තිය සමිති කිව්වත්, ඒවා ටෙලිකොම් එක සම්බන්ධයෙන් මාධ්‍යයෙන් පෙන්වන්නේ නැහැ කියලා වෘත්තිය සමිති නායකයෝ කියනවා. ඒ මොකද දන්නේ නැහැ. මම මාධ්‍ය ඇමති හින්දා ඒකත් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ. යහපාලන රජය යටතේ ඒවා සියල්ල වහගෙන මර්දනය කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. හැම වෘත්තිය සමිති නායකයෙකුටම නඩුදාලා තියෙනවා මිලියන 40, 50 ඉල්ලලා. තර්ජනයෙන්, මර්දනයෙන් තමයි පසුගිය වසර හතර හමාර රජය ආණ්ඩු කරලා තියෙන්නේ. සාකච්ජා මගින් ප්‍රශ්න විසඳගන්න පුලුවන් ද කියන එක තමයි අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:26

    Latest News