රැකියා දෙන බවට ජනපතිගේ නම විකුණා මුදල් ගැරු 02ක් මාට්ටු

දෙසැ 09, 2019

    රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන බවට මහජනතාව මුලාකරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වි ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ඇතැම් වංචනික පිරිස් මෙම කූට ව්‍යාපාරයේ යෙදෙන බවට පොලීසියට ලද තොරතුරු අනුව ඊට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු රාජාංගනය, යාය 08 පදිංචි වයස අවුරුදු 47ක් වන නිහාල් දසනායක නමැත්තෙකි. අනෙක් පුද්ගලයා සෙවනගල, සමඟිපුර පදිංචි නුවන් ජයකොඩි යන අයයි. දියණියට ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා ප්‍රධාන සැකකරු විසින් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ඉල්ලා තිබේ. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ බවට ඇඟවෙන ව්‍යාජ ලිපියක් ද පත්වීමට අදාළව සකස් කර ඇත. මේ අතර අධ්‍යපන අමාත්‍යංශයේ නිලධාරියෙකු බව සඳහන් කරමින් නුවන් ජයකොඩි නැමැත්තා ලවා අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ද දී තිබේ.

    අනතුරුව මුදල් රැගෙන කොළඹ ඉසුරුපාය ඉදිරිපිටට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, සැකකරුවන් දෙදෙනා අදාළ කාන්තාවන්ගෙන් මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරික්ෂන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවනු ලැබේ.

    මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවට දැනුම් දෙයි.

    ඕනෑම අවස්ථාවක 071- 8591017 දුරකථන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0112662323 හෝ 0718591727 දුරකථන අංක ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි ජී.ජේ නන්දන මහතා සම්බන්ධ කර ගැනීමෙන් තොරතුරු ලබා දිය හැකිය.

    සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථීරසාර පිළිවෙත වේ. රජයේ ආයතනවල රැකියා ලබාදීම එම පිළිවෙත අනුව සිදුවන බව ජනාධිපති කාර්යාලය පවසයි. වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ද ජනතාවට කාරැණිකව දන්වා සිටින අතර එවන් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට අපේක්ෂා කරයි.

    Latest News