ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ පහරදීමක් - ලිංගික අතවරයක් ගැන සෙවීමට අධිකරණ නියෝග (වීඩියෝ)

දෙසැ 09, 2019

    පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අධිකරණයේ පැනවු විදේශගත වීමේ තහනම් නියෝගය ලබන 12 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දි කැඳවනු ලැබිණ. පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව ඊයේ රහස් පොලිසිය හමුවට ඉදිරිපත් වූ බවත් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම ආරම්භ කළ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේය.

     අද දින ඇයගෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඇයට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දිනි.

    රහස් පොලිසිය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇය පහරදීමකට හෝ ලිංගික අතවරයකට මුහුණපා තිබේ ද යන්න පිළිබඳව වාර්තාව කැඳවන ලෙස නියම කළාය. ඒ අනුව ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බව රහස් පොලිසිය කියා සිටියා. එහෙත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය ඊයේ දින අවසන් කර ගැනීමට නොහැකි වූ බවයි.

    කාන්තා වෛද්‍යවරියක් ඉදිරියේ එම පරීක්ෂණය සිදු කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඇයට අද දින කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සදහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් රහස් පොලිසිය ප්‍රකාශ කළේය. එම කාන්තාවගේ මූලික ප්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ දින සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ හෙයින් අද දිනයෙන් ඇගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

    මෙහිදී පැහැරගෙන යාමට ලක්වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාවගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයක් ඉදිරියේ සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

    අතවරයට පත් තම සේවාදායකයිකාව ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍ය වරයෙකු විසින් පරික්ෂා කර වාර්තාවන් දෙකක් ලබාගෙන ඇති බවත් එහිදී ඇය පහරදීමකට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් නීතිඥ කුමාරප්පෙරුම මහතා සඳහන් කර සිටියා. ඒ පිළිබඳව කරුණු දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කළේ සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සිදුකරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරු විසින් බවයි.

    සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ.

    මේ සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කර සිටී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කෙසේ වෙතත් මෙම කාන්තාව කාන්තා වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නා.

    මෙහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සුදුසු බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. එහිදී අදාල කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු දක්වමින් මෙම අවස්ථාවේ තම සේවාදායකයාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බවයි සඳහන් කළේ.

    අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් විසින් ප්‍රකාශ කරන හෙයින් එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහෙත් ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා.

    ඊට අමතරව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳවත් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රහස් පොලිසිය මෙම කාන්තාවගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ සඳහා ඇයට අද දිනයේත් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් ප්‍රකාශ කලා. මෙහිදී අගතියට පත් පාර්ශවය නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව වෙත විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හැකිතාක් ඉක්මනින් ඉවත් කරගැනීමට අවශ්‍ය බවයි.

    ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ නම් කරගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය ලබන 12 වනදා වාර්තා කරන ලෙස ද රහස් පොලීසියට නියම කළේය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:25

    Latest News