නරක් වු අර්තාපල් වෙළඳ පොලට යවන දඹුල්ලේ මධ්‍යස්ථානයක් නගරාධිපති අල්ලයි

දෙසැ 09, 2019

    විදේශයෙන් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් වෙළඳපලට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලිසියට හැකිවී තිබේ.

    දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ඉතා රහසිගතව කම්කරුවන් යොදවා ආහාරයට නුසුදුසු අර්තාපල් තෝරන බවත් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බවත් ප්‍රදේශවාසීන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දී ඇත.

    ඊයේ දිනය නිවාඩු දිනයක් බැවින් නගරාධිපතිවරයා නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු දඹුල්ල පොලිසියේ පරිසර පොලිස් අංශය කඩිනමින් එම ස්ථානයට පැමිණ පරීක්ෂාවකට ලක් කළේය.

    මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ කුණුවී ගිය මෙම අර්තාපල් කාන්තාවන් යොදා ශුද්ධ පවිත්‍ර කරමින් තිබු බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. මීට පෙරද මේ අන්දමින් දඹුල්ල කුණු වු අර්තාපල් ගෙන්වා සුද්ධ පවිත්‍ර හොඳ අල සමඟ කලවම් කර නැවතත් රට අභ්‍යන්තරයට යැවීමේ ජාවාරම ක්‍රියාත්මක වී තිබිණි. එම අවස්ථා ජනමාධ්‍ය මගින් පෙන්වා දීම හේතුවෙන් වසර පහක පමණ කාලයක් නැවතී තිබී නැවතත් මෙම අල ජාවාරම ක්‍රියාත්මක වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

    පනුවන් සහිත ඉතාමත් දුර්ගන්ධය සහිතව මෙම අල තිබු බව ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නේය. වහාම දඹුල්ල මහ නගර සභාව දඹුල්ල පොලීසියේ පරිසර ඒකකය එක්ව මෙම අර්තාපල් තොග සහිත ගොඩනැගිල්ලට සීල් තබා අද (09) විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂාකොට අර්තාපල් ගෙන්වූ අය සහ වෙළඳපොළට යැවූ පුද්ගලයන් පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගන්නා බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.

    අර්තාපල් අල කොපමණ ප්‍රමාණයක් මෙම ස්ථානයේ පවතී ද යන්න ගණන් නොබලා ඇති අතර නරක් වූ අල කිලෝ පන්දහසකට අධික ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. මෙම නරක් වු අර්තාපල් තොගය පිළිබඳව සහ ගෙන් වූ අය පිළිබඳව දඹුල්ල පොලිසියේ පරිසර එකකය දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය එකකය වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

     

    Latest News