ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීමට CID යට (වීඩියෝ)

දෙසැ 08, 2019

    පැහැර ගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

    තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය ඉකුත් 25වැනි දින පැහැර ගැණුනු බවට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබිණ. කෙසේ වෙතත්, විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ, පැමිණිල්ලේ කරුණු සහ ඒ පිලිබඳ සිදු කළ පරීක්‍ෂණවල කරුණු අතර පරස්පරතා පවතින බවයි.

    මේ අතර පැහැර ගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළ ද ඇය ගැන තොරතුරු හෙලි කිරීම තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව පසුගිය 3 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශයක් ලබාදෙන තෙක් එම නිලධාරිනියට විදෙස් ගතවීම තහනම් කළාය. එවැනි පසුබිමක් මත පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීමට අද පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් හා නීතිඥයින් කිහිප දෙනෙකු සමඟයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පිවිසුමෙන් මුහුණ ආවරණය කළ පුද්ගලයෙකු පිවිසෙන ආකාරය දක්නට ලැබිණ.

    එම අවස්ථාවේම එහි අනෙක් පිවිසුමෙන් වෑන් රථයකින් කාන්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුල්වන ආකාරය දක්නට ලැබිණ. ප්‍රකාශයක් ලබාගැනීමට පෙර පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරිණ. අනතුරුවයි, ඇයගෙන් ප්‍රකාශය සටහන් කර ගැනුණේ. ප්‍රකාශය ලබාදීමෙන් පසු ඇය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බව වාර්තාවේ.

    මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පළ කළේය.

    Last modified on ඉරිදා, 08 දෙසැම්බර් 2019 20:33

    Latest News